September 29, 2026

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පිහිටි නීතිඥවරියකගේ නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් බහා තිබූ සේප්පුවක් සොරාගත් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ‘වැල්ලවත්තේ උබයා’ නැමැත්තෙකි. ඔහු බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි අයකු බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

24 වැනි දින අදාළ නිවෙසේ උඩුමහලේ වහලය කඩා ඇතුළු වී ඇති සැකකරු, අල්මාරියක තිබූ පවුම් 39 1/2ක රන් භාණ්ඩ ඇතුළත් සේප්පුවද සමඟ එය සොරාගෙන ගොස් ඇති බවට නීතිඥවරිය විසින් වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි.

වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ අපරාධ විමර්ශන අංශය, අවට නිවාසවල CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණය කර රැගෙන යන අයුරු අනාවරණය කරගෙන ඇත.

පසුව වැල්ලවත්ත, කල්‍යාණි පාරේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් 30ක පමණ ප්‍රමාණයක්ද සමඟිනි.

සේප්පුව කපා ඉන් ලබාගත් රන් ආභරණ බොරලැස්ගමුව සහ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශවලදී උකස් කර හා අලෙවි කර ඇති බවත්, එම මුදල්වලින් හෙරෝයින් මිලදී ගෙන මිතුරා සමඟ පානය කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඊට අමතරව, එම මුදලින් ඇඳුම් මිලදී ගෙන බැංකු ගිණුමකට රුපියල් 145,000ක් බැර කර ඇති බවද පොලිසිය විසින් සඳහන් කර ඇත.