April 11, 2026

කොළඹ මහනගර සභාවේ මාසක රැස්වීම පැවැත්වෙමින් තිබියදී එම නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ට පහරදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපාලි වැලිවත්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්තේ පිහිටි ඔහුගේ නිවසට ගිය ද ඔහු නිවසේ නොසිටි බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

එම සිද්ධියේදී පහරකෑමට ලක්වූයේ යැයි කියන කොළඹ මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රම්සි ටෝනි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කරගත් බවත්, ඊට අමරතව කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු ඇතුළු සාක්‍ෂිකරුවන්ගෙන් රැසකකින් ද ප්‍රකාශ සටහන්කරගත් බවත් කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

පහරදුන්නේ යැයි කියන මන්ත්‍රීවරයා අත්අඩගුවට ගැනීමට අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක කරන බවත්, අදාළ මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පිටව ගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත් පොලිසිය කියයි.

කොළඹ මහනගර සභාවේ අප්‍රේල් මස මහා සභා රැස්වීම පෙරේදා (9) පැවැත්වෙමින් තිබියදී, මන්ත්‍රී විවේකාගාරයේදී සැකකාර මන්ත්‍රීවරයා රම්සි ටෝනි මන්ත්‍රිවරයාට පහරදුන් බවත්, පහර දීමෙන් තුවාල ලැබුවේ යැයි කියන රම්සි ටෝනි මන්ත්‍රිවරයා රෝහල්ගතව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)