October 28, 2025

මේ දිනවල ඇදහැලෙන වර්ෂාපතනය හමුවේ ජලයෙන් බෝවන රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත්තේ, වැසි ජලය පානීය ජල මූලාශ්‍ර දූෂණය කරන අතර මදුරුවන් බෝවීමට සුදුසු තත්වයන් නිර්මාණය කරන බැවින් ඩෙංගු, මී උණ, හෙපටයිටිස් සහ පාචනය වැනි රෝග වේගයෙන් පැතිර යා හැකි බවයි.

වැසි සමය බරපතල රෝග කිහිපයක අවදානම බෙහෙවින් වැඩි කරන බවත්, ඩෙංගු උණ ප්‍රධාන අවදානම් සහගත රෝගයක් බවත් ඔහු පැවසීය.

“ගංවතුර සහ ජලය එකතැන පල්වෙන ස්ථාන මදුරුවන් බෝවීම සඳහා සුදුසු ස්ථාන. ඒ සමඟම, ගංවතුර නිසා එම ජලය ආසාදිත සතුන්ගේ මුත්‍රා සමඟ මිශ්‍ර විය හැකි අතර, එය ‘මී උණ’ පැතිරීමට හේතු වනවා” වෛද්‍ය විජේවික්‍රම පැහැදිලි කර ඇත.

ගංවතුර හෝ මඩ සහිත ප්‍රදේශවල වැඩකරන හෝ ඇවිදින ගොවීන්, ඉදිකිරීම් සේවකයන් වැනි පුද්ගලයින් විශේෂයෙන් අවදානමට ලක්වන කාණ්ඩ බව ද ඔහු අනතුරු අඟවයි.

“එවැනි පුද්ගලයින් ආරක්ෂිත සපත්තු, අත්වැසුම් සහ ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතු අතර උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව හෝ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය,” ඔහු සඳහන් කරයි.

“ගංවතුර කාලවලදී මිනිසුන් බොහෝ විට ළිං හෝ ඇළ දොළවලින් අපිරිසිදු ජලය භාවිතා කරන අතර එමඟින් මෙම ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වේ,” ඔහු තවදුරටත් පෙන්වාදෙයි.

එමෙන්ම මෙම රෝග ක්ෂණිකව මතුනොවුන ද ඉදිරි සති දෙක තුළ ජලය බැසයාමට පටන් ගන්නා විට මතු විය හැකි බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි.

එබැවින්, සෞඛ්‍ය අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ඉක්මනින් පියවර ගැනීම වැදගත් බව ද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අවධාරණය කරයි.

කෑමට පෙර අත් සේදීම, උතුරවා නිවා ගත් ජලය පානය කිරීම, ආහාර ආවරණය කිරීම සහ මඩ සහිත හෝ එකතැන පල්වෙන ජලයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැනි සරල පියවර මගින් රෝග අවදානම අවම කර ගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.