July 11, 2026

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම ගැටුම හටගැනීමට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතු වී තිබේ.

බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ඉන් තුවාල ලැබූ පස්දෙනා ප්‍රථමයෙන් ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත්, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ රැඳවියන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුව වෙත මාරුකර යවා තිබේ.

මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ ප්‍රභාත් ධනුෂ්ක සහ අබ්දුල් හසීෆ් නැමැති රැඳවියන් දෙදෙනා බව රෝහල් ප්‍රකාශකයෙකු අනාවරණය කළේය.

අනෙක් තුවාලකරුවන් තිදෙනා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.