October 19, 2023

එල්ටීටීඊය සංවිධානය යළි පණගැන්විය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේෂ්වරන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඇයව නිදහස් කිරීමට නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (19) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

එල්ටීටීඊ සංවිධානය නැවත පණගැන්විය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කළා යැයි කියන සිද්ධියට අදාළව හිටපු ඇමැතිවරිය සම්බන්ධ නඩුවෙන් ඇය නිදහස් කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇතැයි අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ පසුගියදා කරුණු වාර්තා කළේය.

මෙම සැකකාරිය සම්බන්ධයෙන් මින් ඉදිරියට නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත්, ඇය නිදහස් කළ හැකි බවත්, සඳහන් කරමින් නීතිපතිවරයා තම කොට්ඨාසයට ලිඛිතව උපදෙස් දුන් බවද අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය අධිකරණය දැනුම් දී තිබිණි.