October 20, 2026

ෂැංග්‍රි-ලා හෝටල් ආයෝජනය සිදුවූ ආකාරය සහ ඒ හා සම්බන්ධ පසුබිම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ගෙන් ප්‍රශ්න කළ බව හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හෙළිකළේය.

ඒ පිළිබඳ තමන්ගේ මැදිහත්වීම පැහැදිලි කරමින් ජී.එල්. පීරිස් පැවසුවේ, යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු, එනම් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගවලට මුහුණදෙමින් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරමින් සිටි 2010 අප්‍රේල් 23 වනදා තමන් විදේශ අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බවයි.

අන්තර්ජාතිකව ප්‍රසිද්ධ ෂැංග්‍රි-ලා හෝටල් ජාලයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ හෝටලයක් පිහිටුවීමේ අවස්ථා පිළිබඳව විමසා බැලීමට උනන්දුවක් දැක්වූ අතර, ඒ සඳහා ඔවුන් යෝජනා කළ සංචාරය පිළිබඳව රජයේ ප්‍රතිචාරය විමසා සිටි බව ඔහු පැවසීය.

මෙම තීරණය ඉහළම මට්ටමේ අනුමැතියක් අවශ්‍ය වන එකක් ලෙස තමන් විශ්වාස කළ බැවින්, අදාළ කරුණ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යොමුකළ බව ජී.එල්. පීරිස් සඳහන් කළේය.

ජී.එල්. පීරිස්ට අනුව, මහින්ද රාජපක්ෂ එම යෝජනාව සාදරයෙන් පිළිගෙන ඇති අතර, යුද්ධය අවසන් වීමෙන් පසු රට තුළ ඇති වූ යහපත් ආරක්ෂිත පරිසරය පෙන්වාදෙමින් අදාළ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට දිරිගන්වන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.

තමන් ධුරයට පත්වීමෙන් පසු නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් තමන් වෙත පවරා තිබූ වගකීම් අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමද ඇතුළත් වූ බව හිටපු අමාත්‍යවරයා පැවසීය.

වැඩි වශයෙන් මුදල් වියදම් කරන අන්තර්ජාතික සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කළ බැවින් රජය මෙම ආයෝජනය දිරිමත් කළ බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ෂැංග්‍රි-ලා හෝටලය ශ්‍රී ලංකාවේ ඉදිකිරිම, කොළඹ ITC රත්නදීප හෝටලය ඇතුළු පසුව සිදු වූ සංවර්ධනයන්ට මගපාදමින්, අනෙකුත් අන්තර්ජාතික හෝටල් ජාලයන් තුළද විශ්වාසයක් ගොඩනැගීමට උපකාරී වූ බව ජී.එල්. පීරිස් පෙන්වාදුන්නේය.

2010 වසරේ සිට නව හෝටල්, මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් සමඟ කොළඹ විශාල සංවර්ධනයකට ලක් වූ බවද ඔහු පැවසීය.

කෙසේවෙතත්, මෙම සිදුවීමට අදාළව තමන්ට කිසිදු වරදක් පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කළේය.

අල්ලස් කොමිසම තමන්ව කැඳවා ඇත්තේ අදාළ ආයෝජනය සිදු වූ පසුබිම සහ ඒ සඳහා එකල රජයේ මැදිහත්වීම පිළිබඳව තොරතුරු ලබාගැනීමට පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.