August 28, 2026

සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් වූ වක්‍රලේඛයේ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂයක් (10,800,000) පමණ වටිනා සහනදායී මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කර ඇත.

මෙම නිලධාරීන් තිදෙනා ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙසේ සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දී ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුටය. මින් එක් අයෙකුගේ සේවා කාලය වසර 01ක් හා දින 09කි. අනික් නිලධාරියාගේ සේවා කාලය වසර 01යි මාස 01යි දින 28කි.

බලපත්‍ර ලබාදී ඇති අනික් සහකාර අධ්‍යක්ෂකවරයාගේ සේවා කාලය මාස 02යි දින 11කි.

විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබූ මෙම නිලධාරීන් තිදෙනා සඳහා සහනදායී බලපත්‍ර මත මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් පවත්නා නීති රීති යටතේ පියවර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

එම මෝටර් රථ බලපත්‍ර ලබාගත් නිලධාරීන් සම්බන්ධයෙන් ද පියවර ගැනීමටත් ඉදිරියේ මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ වක්‍රලේඛ ප්‍රකාරව හිමිකම් ලබන නිලධාරීන්ට පමණක් බලපත්‍ර නිකුත් කිරීමටත් කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන හා නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදුකරනු ලැබූ විශේෂ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.

(දිවයින)