April 30, 2024

විධායක ගණයේ රාජ්‍ය සේවකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන වාහන බලපත්‍ර ළඟදීම ලබාදීමට නියමිත බව වාර්තා වේ.

තීරුබදු රහිත කොන්දේසි යටතේ වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමුකළ ලිපියට ඊයේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 102ක් පමණ අත්සන් තබා ඇත.

ඉදිරි දිනවලදී තවත් බොහෝ පිරිසක් එම ඉල්ලීමට සහාය දැක්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය පාර්ලිමේන්තුවල කටයුතු කළ මන්ත්‍රීවරුන්ට එවැනි බලපත්‍ර ලැබුණ ද 2020 මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ප්‍රතිලාභය නොලැබිණි.

2025 වසරේ දී නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් දැනට සිටින මන්ත්‍රීවරුන්ට, විශේෂයෙන් පළමු වරට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට මෙම ප්‍රතිලාභය අහිමි වනු ඇති බවට ඔවුන් කණස්සල්ලෙන් සිටින බව වාර්තා වේ.

මේ වසරේ ඔක්තෝබර් මස මුලදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

එහිදී කවුරුන් ජයග්‍රහණය කළ ද අලුත් ආණ්ඩුවක් සහ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා අලුත් ජනවරමක් ලබා ගැනීම වෙනුවෙන් වැඩි කල් නොගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුමැතිය සඳහා කාරක සභාවට යොමුකිරීමට නියමිතය.

වාර්තා වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී වාහන බලපත්‍ර නිකුත්කරනු ලබන්නේ වෛද්‍යවරුන් වැනි රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණිවල අයට අදාළ වන පොදු නිර්ණායකයක් අනුවය.

පසුගිය කාලයේ මන්ත්‍රීවරුන් තම වාහන බලපත්‍ර ධනවත් ව්‍යාපාරිකයන්ට විකුණා රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයීම සාමාන්‍ය දෙයක් වී තිබිණි.

බලපත්‍ර ලබා ගන්නා ව්‍යාපාරිකයන් තීරු බදු රහිත ප්‍රතිලාභ භාවිත කරමින් එය සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට යොදාගෙන තිබිණි.

වාහන ආනයන තහනම ඉවත්කිරීමට ද රජය දැන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.