June 1, 2026

රජය මඟින් ක්‍රියාත්මක කරන ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මේ වන විට වනාන්තර 81ක් ගැසට් පත්‍ර මඟින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එළඹෙන ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයේදී තවත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ මෙරට ප්‍රකාශයට පත්කර ඇති සමස්ත වන රක්ෂිත සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ යනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මේ බව අනාවරණය කර ඇත.

ලෝක පරිසර දිනයට සමගාමීව ජූනි 05 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් අලුතින්ම රක්ෂිත බවට පත්කෙරෙන වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

හෙක්ටයාර 2,169ක සමස්ත භූමි ප්‍රමාණයකින් යුත් එම වනාන්තර පහ අතරට රිටිගල රක්ෂිතය, අලියා වැටුණු වැව රක්ෂිතය, බුලගල රක්ෂිතය, කෝන්කැටිය රක්ෂිතය සහ කල්ලංචිය රක්ෂිතය අයත්ය.

‘වනස්පති’ වැඩසටහන සම්බන්ධයෙන් මෙම ජනමාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

“වනස්පති වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේ 2025 ජූලි 15 වැනිදා ගම්පහ බජ්ජංගොඩ වන රක්ෂිතයෙන්. එහි පළමු වසර තුළ පමණක් හෙක්ටයාර 50,000කට ආසන්න වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අපට හැකිවුණා. ඉන්පසුව, 2026 ජාත්‍යන්තර වනාන්තර දිනයේදී අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කළා. හෙක්ටයාර 12,989ක වපසරියකින් යුත් එම වනාන්තර අතරට ලංකාවේ මධ්‍යම කඳුකරයේ අඩි 5,000කට වඩා ඉහළින් පිහිටි සංවේදී වන කලාප කිහිපයක්ද ඇතුළත් වෙනවා”

මීට අමතරව, පසුගිය අප්‍රේල් 24 වැනිදා පැවැති ‘එහි පස්සිකෝ’ සාම පාගමනට (Peace Walk) සමගාමීව ද වනාන්තර දෙකක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කළ බව අමාත්‍යවරයා සිහිපත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නුගගහමුල යාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පැඩිගම් පල්ලෙල්ල වනාන්තරය එම කලාප දෙකයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ඉදිරි වනාන්තර පහ රක්ෂිත කිරීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.