March 26, 2026

චීන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මිනිස් ස්වරූපී රොබෝවරුන් (humanoid robots) රජය විසින් මිලදී ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කෙරෙන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන් දෙදෙනෙකු සැලසුම් කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ චීන තාක්ෂණය හරහා සිදුවිය හැකි ජාතික ආරක්ෂක අවදානම් සහ දත්ත රහස්‍යභාවය පිළිබඳ පවතින උත්සුකයන් සැලකිල්ලට ගනිමිනි.

සෙනෙට් සභිකයන් වන ටොම් කොටන් (Tom Cotton) සහ චක් ෂූමර් (Chuck Schumer) විසින් මෙම ව්‍යවස්ථාදායකය හඳුන්වා දීමට සැලසුම් කර ඇත්තේ ජාතික ආරක්ෂක අවශ්‍යතා පදනම් කරගෙන බව වාර්තාවේ වේ.

මෙමගින් ඇමෙරිකානු රජයේ ආයතනවලට එවැනි පද්ධති මිලදී ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කරනු ඇත.

යෝජිත “ඇමෙරිකානු ආරක්ෂක රොබෝ තාක්ෂණ පනත” (American Security Robotics Act) මගින් චීනය ඇතුළු සතුරු රටවල් ලෙස සැලකෙන රටවල සමාගම් විසින් නිපදවන ලද ‘මිනිසුන් රහිත ගොඩබිම් වාහන’ (unmanned ground vehicles) සඳහා ෆෙඩරල් අරමුදල් භාවිතා කිරීම ද තහනම් කරනු ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ චීන තාක්ෂණික නිෂ්පාදන ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු බලධාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මාලාවකින් පසුවය.

මේ සතිය මුලදී, ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) විසින් ආරක්ෂක හේතූන් මත විදේශීය නිෂ්පාදිත ‘රවුටර්’ (routers) උපකරණ සිය තහනම් ලැයිස්තුවට (Covered List) ඇතුළත් කළ අතර, චීන ඩ්‍රෝන යානා ආනයනය සීමා කිරීමට ද මෑතකදී පියවර ගත්තේය.

කෙසේ වෙතත්, තවමත් නිල වශයෙන් ඉදිරිපත් කර නොමැති මෙම පනත් කෙටුම්පත අනාගතයේදී සම්මත වුවහොත්, එය ඊලොන් මස්ක්ගේ ටෙස්ලා (Tesla) සමාගමට සුභ ආරංචියක් වනු ඇත.

මන්දයත්, නිෂ්පාදන කටයුතු සහ ගෘහස්ථ වැඩකටයුතු සඳහා නිර්මාණය කර ඇති ‘මිනිස් ස්වරූපී රොබෝවරුන්’ (humanoid robots) නිපදවීමේදී චීන සමාගම් ඇමෙරිකානු සමාගම් සමඟ දැඩි තරඟයක නිරත වන බැවිනි.