April 18, 2026

රුසියානු තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන මුහුදේදී මිලදී ගැනීමට ඉඩ සලසන නිදහස් කිරීමක් ට්‍රම්ප් පරිපාලනය විසින් සිකුරාදා අලුත් කර තිබේ.

එසේ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව පවසා දින දෙකකට පසුව මෙම යාවත්කාලීන කිරීම සිදුකිරීම විශේෂත්වයකි.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිකුරාදා සවස් භාගයේ දී එහි වෙබ් අඩවියේ අදාළ බලපත්‍රය පළ කර තිබිණි.

ඒ අනුව සිකුරාදා සිට මැයි 16 දක්වා යාත්‍රාවලට පටවා ඇති රුසියානු තෙල් මිලදී ගැනීමට රටවල්වලට ඉඩ ලබා දී ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේදී ඉහළ ගොස් ඇති ගෝලීය බලශක්ති මිල පාලනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයේ කොටසක් වන මෙම බලපත්‍රය, අප්‍රේල් 11 වැනිදා කල් ඉකුත් වූ දින 30ක නිදහස් කිරීමක් ප්‍රතිස්ථාපනය කරයි.

කෙසේවෙතත් එමගින් ඉරානය, කියුබාව සහ උතුරු කොරියාව සම්බන්ධ ගනුදෙනු බැහැර කර තිබේ.

අවදානම් උපදේශක උපදේශන සමාගමක් වන ඔබ්සිඩියන් හි සම්බාධක විශේෂඥ බ්‍රෙට් එරික්සන් පැවසුවේ මෙම අලුත් කිරීම වොෂින්ටනය නිකුත් කරන අවසාන නිදහස් කිරීම නොවන බවයි.

“ගැටුම ගෝලීය බලශක්ති වෙළඳපොළවලට කල් පවතින හානියක් සිදු කර තිබෙනවා. ඒවා ස්ථාවර කිරීමට ඇති මෙවලම් බොහෝ දුරට අවසන් වෙලා,” එරික්සන් පැවසීය.

රුසියානු ජනාධිපති නියෝජිත කිරිල් දිමිත්‍රීව් පවසා තිබුණේ පළමු නිදහස් කිරීම මගින් රුසියානු බොරතෙල් බැරල් මිලියන 100ක් නිදහස් වන බවයි.

එය දිනකට ආසන්න ගෝලීය නිෂ්පාදනයට සමාන වේ.

සම්බාධක ලිහිල් කිරීම මගින් ලෝක තෙල් සැපයුම තාවකාලිකව ඉහළ නැංවිය හැකි වුවද, යුද්ධයට පෙර ලෝකයේ තෙල් හා ගෑස්වලින් 20%ක් පමණ ප්‍රවාහනය කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය අර්ධ වශයෙන් වසා දැමීම හේතුවෙන් ඛනිජ තෙල් මිල ඉහළ යෑම වළක්වා නැත.

මෙම නිදහස් කිරීම් මගින් යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාවට ආදායම අහිමි කිරීමට බටහිර රටවල උත්සාහයන් සංකීර්ණ කළ හැකි අතර වොෂින්ටනය එහි සහචරයන් සමඟ ගැටීමට ඉඩ ඇත.

උදාහරණයක් ලෙස යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසා ඇත්තේ රුසියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට කාලය මෙය නොවන බවයි.