July 5, 2026

ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය කියන්නේ සාමාන්‍යයෙන් හරිම නිහඬ, ආරක්ෂාව උපරිමයෙන්ම තියෙන තැනක්නේ. හැබැයි පසුගියදා මුළු තානාපති කාර්යාල පරිශ්‍රයම එක රැයකින් හොලිවුඩ් සිනමා ලෝකයක් බවට පත් වුණා කියලා ආරංචි වෙනවා.

හේතුව තමයි ඇමරිකාවේ 250 වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කරපු අපූරු සිනමාමය සාදය. සාමාන්‍යයෙන් නිදහස් දින උත්සව පවත්වන සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා, මුළු පරිශ්‍රයම සිනමා ශාලාවක අත්දැකීමක් දෙන විදිහටයි නිර්මාණය කරලා තිබුණේ.

මේ සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සයි. ඒ වගේම මෙරට දේශපාලකයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු විශේෂ අමුත්තන් රැසක්ම මේ වෙනස්ම විදිහේ හොලිවුඩ් අත්දැකීම විඳගන්න එකතු වෙලා හිටියා.

මෙහිදී අදහස් දක්වපු ඇමරිකානු භාරකාර නිලධාරිනී ජේන් හවෙල් අපූරු කතාවක් කළා. ඇය කිව්වේ සිනමාව කියන්නේ ඇමරිකාව ලෝකයට දීපු වටිනාම තෑග්ගක් කියලා. The Wizard of Oz චිත්‍රපටයේ එන ධෛර්යය, The Avengers චිත්‍රපටයේ එකමුතුකම, E.T. හරහා දකින විස්මිත බව වගේම Forrest Gump චිත්‍රපටයේ තියෙන නොසැලෙන ගුණය ඇමරිකානු සිනමාව ඇතුළෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදු දේවල් කියලා ඇය මතක් කරලා දුන්නා. ඕනෑම කතාවක් නිදහසේ ලෝකයට කියන්න තියෙන අයිතිය තමයි සිනමාවේ තියෙන සුන්දරත්වය කියලා ඇය වැඩිදුරටත් කිව්වා.

උත්සවය අතරතුර ඇමරිකානු සිනමාවේ සන්ධිස්ථාන සනිටුහන් කරපු සුවිශේෂී චිත්‍රපට වෙනුවෙන් වෙන් කරපු අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන කුටි (Interactive exhibits) නැරඹීමටත් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිස අමතක කළේ නැහැ. විශේෂයෙන්ම ලෝක ප්‍රකට E.T. චිත්‍රපටයේ කුටිය වෙත හැමෝගෙම වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා.

කොහොම වුණත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සවයක් මේ වගේ සිනමාමය තේමාවකින්, රසවත් විදිහට සමරන්න ගත්ත උත්සාහය නම් කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා.