May 9, 2023

තාවකාලිකව වන නමුත් ආණ්ඩුව සිය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගෙන ඇත. ප්‍රතිසංස්කරණ යෝජනා ඊට ඉදිරිපත් කිරීම සඳහා තවත් කාලයක් ලබාදීමට තීරණය කළ බව අධිකරණ ඇමැතිවරයා පවසා තිබේ. එම නීති කෙටුම්පතට එරෙහිව නීතීඥ සංගමය, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ඉහළම පෙළේ ආගමික පූජකවරුන් ඇතුළු සමාජයේ පුළුල් පරාසයක කොටස් වෙතින් විශාල විරෝධතා එල්ල වී ඇත. කෙටුම්පතට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී සහ නීත්‍යනුකූල යැයි පිළිගැනෙන මහජන විරෝධතා මැඩපැවැත්වීමට, රජයට හැකි වන පරිදි ඊට ලබාදී ඇති පුළුල් බලයයි. මූල්‍ය බිඳවැටීම නිසා ඇති වූ, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයේ යථාර්ථය විසින්, එහි ඉලක්ක වෙත පහරදෙන විට, මධ්‍යම හා කම්කරු පන්තිය ආණ්ඩුවට එරෙහිව පවත්වන උද්ඝෝෂණය තීව්‍ර කරනු ඇත. එවැනි මහජන විරෝධතාවලට මුහුණදීම සඳහා ආණ්ඩුව සිය ආරක්ෂක අවි ගබඩාව සූදානම් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

තම බලය හා තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා නීතිය භාවිත කිරීමට හෝ නිතිය කඩකිරීමට උත්සාහ කරන ආණ්ඩු පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ. එය පාකිස්තානය සහ ඊශ්‍රායලය මෙන් ශ්‍රී ලංකාවට වඩා සංස්කෘතික හා දේශපාලනික වශයෙන් වෙනස් රටවලද දැකිය හැකිය. ඔවුන් විවිධ සංවර්ධන මට්ටම්වල සිටින අතර, ඊශ්‍රායලය සිටින්නේ එහි ඉහළම ස්ථරයේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීම සඳහා ජනතාවට ඍජු කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවන බව වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ. සිය යහපැවැත්ම සම්බන්ධයෙන් පහසුවෙන් සම්මුතියකට ළඟාවිය නොහැකි, කැළඹිලි සහිත අවස්ථාවන්හිදී, පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව මහමගට බසින්නේ, තම අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම රැකගැනීම සඳහාය.

උද්ධමනය සියයට 45 ඉක්මවන ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින පාකිස්ථානයේ, වසරක් තුළ මිලියනයකට අධික ජනතාවක් සංක්‍රමණය වෙමින් සිටිති. මහාචාර්ය මූනිස් අහ්මාර් පෙන්වාදී ඇති ආකාරයට පාකිස්තානයේ, “ගැඹුරු මුල් බැසගත් දේශපාලන ධ්‍රැවීකරණය මෙන්ම, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර කඹ ඇදිල්ල හේතුවෙන් සිවිල් යුද්ධයක් පුපුරා යෑම පිළිබඳ ලක්ෂණ වර්ධනය වෙමින් පවතී. මැයි 14 වැනි දින පන්ජාබ් සභාව වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා, තමන්ට වීදි බැසීමට බලකෙරෙනු ඇති බවට පීටීඅයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන්ගේ අනතුරු ඇඟවීමෙන් අදහස් වන්නේ සියල්ල යහපත් නොවන බවයි”. එය, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඡන්ද පැවැත්වීමට මුදල් නොමැති බව පවසන ආකාරයේ තත්වයකි.

“පාකිස්තාන ඉතිහාසයේ ප්‍රථම වතාවට, රාජ්‍ය ආයතනවල පිරිහීම සහ උදාසීනත්වය තුළින් පිළිබිඹු වන, ජාතික මට්ටමේ ආචාර ධර්ම හා සාරධර්මවල තියුණු ඛාදනයක් සිදුවී තිබේ. රටක අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්ට එරෙහිව ක්‍රියා කරන විට සහ මැතිවරණ කොමිෂන් සභාවේ, උපරිමාධිකරණයේ නියෝග පිළිපැදීමට නොහැකි බව පවසමින් කටයුතු කරන විට, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කර මරා දැමීමකි. පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අකීකරු වන විට සහ තේරී පත් වූ නියෝජිතයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති විරහිත ස්ථාවරය ගැන කරදර නොවන විට, නිසැකවම රටේ පැවැත්ම අනතුරේ වැටීම වැලැක්විය නොහැක.” යැයි ශ්‍රී ලංකාවේ තත්වයට තවදුරටත් සමාන කරමින් මහාචාර්ය මූනිස් පාකිස්තානයේ වත්මන් තත්වය පැහැදිලි කරයි. ( ttps://tribune.com.pk/story/2414497/deepening-survival-crisis)

ඊශ්‍රායල විරෝධතා

අරගලය සිහිපත් කරවන ඊශ්‍රායල ජනතා ව්‍යාපාරයක් පිළිබඳ මතකයක් මා සතුව තිබේ. ඇමරිකානු යුදෙව් කමිටුවේ ආරාධනයකට අනුව මම පසුගිය මාසයේ ඊශ්‍රායලයට ගියෙමි. මා නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත, තරුණ විශ්වවිද්‍යාල සිසුහු සහ ඔවුන්ගේ මහාචාර්යවරු, එදින පැවැත්වීමට නියමිත විරෝධතාවයට එක්වන ලෙස ඉල්ලා ඒ අසලින් යන අයට පත්‍රිකා බෙදමින් සිටියහ. ඊශ්‍රායලයට ඇත්තේ තම පාර්ලිමේන්තු බහුතරය භාවිත කර නීති වෙනස් කිරීමට උත්සාහ කරන ආණ්ඩුවකි. ඊශ්‍රායල අගමැතිය බෙන්ජමින් නෙතන්යාහු ආකර්ශනීය මෙන්ම අත්දැකීම් බහුල පුද්ගලයෙකි. එහෙත් ඔහු දැන් දෙබිඩි චරිතයක් බවට පත්ව ඇත. ඔහුට ඊශ්‍රායල අධිකරණය හමුවේ දූෂණ චෝදනා එල්ල වී තිබේ. එබැවින් ඔහු වැරදිකරු විය හැකි නීති වෙනස් කිරීමට, පාර්ලිමේන්තුවේ සිය බහුතරය භාවිත කරමින් සිටී. විනිසුරුවරුන් පත්කිරීමේ දැනට පවතින ස්වාධීන ක්‍රියාවලිය ඉවත් කර, ඒ වෙනුවට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ආණ්ඩුවට පවරාගැනීම සඳහා නීති වෙනස් කිරීමටද ඔහු උත්සාහ කරයි.

නව අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට අනුව, දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයට ලක්ව සිටින නෙතන්යාහුට සහ ඉතිහාසයේ ඊශ්‍රායලයේ වඩාත්ම ශක්තිමත් සන්ධානයේ ඔහුගේ හවුල්කරුවන්ට, විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන බලය ලබාදෙනු ඇත. එමගින් නෙතන්යාහුගේ සහචරයන් විසින් පාලනය වන පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබීමට නියමිතය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව පිළිබඳ මතකයන් අවදි කෙරන ආකාරයෙන්, ව්‍යාපාරික ප්‍රමුඛයන් ඇතුළු ඊශ්‍රායල සමාජයේ පුළුල් පිරිසක් යෝජිත වෙනස්කම් විවේචනය කර තිබේ. ආණ්ඩුව විසින් නව සැලැස්ම අනුමත කළහොත් රාජකාරියට වාර්තා නොකරන බවට හමුදාවේ අතිරේක බලකා සාමාජිකයන් අවධාරණය කර ඇත. සංවරණය සහ තුලනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැන නොසිතන රජයක් වෙනුවෙන් සටන් කිරීමට තමන් කැමති නැති බව ඔවුන් පවසා තිබේ. මධ්‍යම පාන්තික ඊශ්‍රායල ජාතිකයෝ දස දහස් ගණනක්, සැලැස්මට එරෙහිව මහජන විරෝධතාවලට නිතිපතා සම්බන්ධ වී සිටිති( https://www.voanews.com/a/thousands-of-israelis-protest-government-legal-change-plans-/7081863.html).

හදිසි දුප්පත්කමක් නිර්මාණය කරමින්, ආර්ථිකය විනාශ කළ නමුත් දිගටම බලයේ රැඳී සිටින අපගේ ආණ්ඩුවේ වගකීම් විරහිතභාවයට එරෙහිව විරෝධය දැක්වීමට ශ්‍රී ලංකාව වරක් කටයුතු කළ අත්දැකීමට සමාන ආකාරයෙන්, පසුගිය සති දහඅට තුළ ඊශ්‍රායලය මහජන විරෝධතාවලට මුහුණදී ඇත. තම රජයට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ කළ හැකි බව රටේ ජනතාවට හැඟී යෑම ප්‍රජාතන්ත්‍රවාදයේ සළකුණකි. ශ්‍රී ලංකාවේ අප වරක් සිදුකළාක් මෙන්, ඊශ්‍රායල නගරවල දස දහස් ගණනක් ජනයා වීථි  උද්ඝෝෂණ සිදුකරති. නෙතන්යාහුගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති අතර, සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අඩපණ කරනු ඇතැයි විරෝධතාකරුවන් විශ්වාස කරන නීති සම්මත කිරීමට බලය එය සතුව පවතී. බහුතරයකගේ තීරණවලට එරෙහිව වුවද විරෝධතා දැක්වීමේ අයිතිය පාකිස්ථානය, ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව යන සියලුම රටවල් අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් ආරක්ෂා කරන මූලික මානව අයිතිවාසිකමකි. මෙතෙක් ඊශ්‍රායල රජය මහජන විරෝධතාවයේ අයිතිය උල්ලංඝනය කර නැත.

අන්තර්ජාතික පීඩනය

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පතේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ, විරෝධතා දැක්වීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපරාධමය වරදක් ලෙස ඊට ඇතුළත් කරමින් වැරදි පරාසය පුළුල් කිරීමයි. එවැනි විරෝධතා ක්‍රියා රජයේ සහ ආර්ථිකයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවත්, එය ත්‍රස්තවාදයට සමාන බවත් පවසමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතුළු මහජන විරෝධතා මැඩපැවැත්වීම සඳහා රජයට අමතර බලයක් ලබාදීමට මෙම පනත් කෙටුම්පත මගින් අපේක්ෂා කෙරේ. පසුගිය වසරේ අරගලය මර්දනයේදී රජය ගත් ස්ථාවරය එයයි. “පද්ධතිය වෙනස් කිරීමට” සහ රටේ ආර්ථික බංකොලොත්භාවයට වගකිව යුතු සියලුම නායකයන් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ත්‍රස්ත මර්දන පනතක් ඒ වෙනුවට ආදේශ කිරීමට අදහස් කෙරේ) භාවිත කරන ලදී. කෙසේ වෙතත්, ලෝක බැංකුව විසින් සිදු කරන ලද නවතම විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ, අර්බුදය මේ වසරේ ද පවතින අතර, ඉදිරි වසර සහ ඉන් ඔබ්බටද පවතිනු ඇති බවයි.

ලෝක බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, කුටුම්භයන්ගේ ජීවනෝපාය සඳහා ඇති බහුවිධ අවදානම් හේතුවෙන්, ඉදිරි වසර කිහිපය තුළ එය සියයට 25ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. “අර්බුදය විසින් දරිද්‍රතාවය අඩුකිරීමේ සහ මානව ප්‍රාග්ධන සංවර්ධනයේ වසර ගණනාවක ජයග්‍රහණ ආපසු හරවා ඇත” යැයි පෙන්වාදෙන ලෝක බැංකු වාර්තාව, අර්බුදය විසින් අතිරේක දුප්පතුන් මිලියන 2.5 ක් රටට එකතු කර ඇති බවද පෙන්වාදෙයි. රටේ ජනගහණයෙන් සියයට 5.7ක් දරිද්‍රතා රේඛාවෙන් සියයට 10ට වඩා අඩුවෙන් ජීවත් වන අතර, තවත් සියයට 5.6ක් ඊට ඉහළින් සියයට 10ත් 20ත් අතර ජීවත් වෙති. එසේම දරිද්‍රතා රේඛාවට ආසන්නව ජීවත් වන බොහෝ දිළිඳු නොවන පවුල්වලද, ආදායම් කම්පනවලට ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇත. වාර්තාවට අනුව සෘණ ආදායම් කම්පනයකදී මෙම සියලු කුටුම්භ දරිද්‍රතාවයට වැටීමේ විශාල අවදානමක් පවතී (https://www.sundaytimes.lk/230507/news/lankas-poverty-rate-doubled-says-world-bank-518993.html).

මෙම තත්ත්වය තුළ, ඉදිරි මාස කිහිපදී ආණ්ඩුව විසින් සකස් කරමින් සිටින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව මහජන විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග පැවැත්වෙනු ඇතැයි සිතිය හැක. නීතීඥ සංගමය, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ආගමික පූජකවරුන්ගේ විරෝධය නොතකා ආරක්‍ෂක අංශ සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන දින කිහිපයකින් අරගලය විනාශ කළ ආණ්ඩුව, ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පතේ ප්‍රතිසංස්කරණය සඳහා ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලට කන් දෙන්නේ නැත. යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළව කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට මැයි 31 දක්වා ආරාධනා කර ඇතත්, නීතිඥ සංගමය, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ ආගමික පූජකවරුන් වැනි දේශීය පාර්ශ්වවලට ඇහුම්කන්දීමට තරම් ආණ්ඩුව බැරෑරුම් වනු ඇතැයි සිතිය නොහැක. ඊශ්‍රායලයේ මෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් නොව, ශ්‍රී ලංකාව තුළ එම වෙනස ඇති කළ හැක්කේ, යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් (GSP Plus) ආර්ථික සහනය අහිමි වීමේ අවදානම වැනි අන්තර්ජාතික පීඩනයන් ඔස්සේය.

  • ජෙහාන් පෙරේරා