April 28, 2024

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව කැබිනට් මණ්ඩලය සංදේශ 66ක් ඉදිරපත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමේ දී රජය වෙත අමතර වියදමකින් තොරව දීර්ඝ කරනු ලබන කාල සීමාවේ දී සියලු ඉදිකිරීම් නිමකර ව්‍යාපෘතිය විධිමත්ව රජය වෙත භාරදීමේ කොන්දේසිවලට යටත්ව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.

එහෙත් එම කොන්දේසිය පිළිබඳ සැළකිල්ලක් දක්වා නැත.

ඒ පිළිබඳ නොසළකා කොන්ත්‍රාත්කරු වෙත කාල දීර්ඝයන් ලබා දී තිබේ.

මේ නිසා ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව ගණනය කොට කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතියට අදාළව කැබිනට් මණ්ඩල සංදේශ 66ක් ඉදිරිපත් කර තිබූ නමුත් එම කිසිදු අවස්ථාවක මේ පිළිබඳ ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

විගණනය මගින් පෙන්වා දෙන ආකාරයට 2015 නොවැම්බර් මස 15 දින සිට 2023 ජුනි මස 30 දක්වා ව්‍යාපෘති කාලය දීර්ඝ කර තිබිණි.

කොන්ත්‍රාත් ගිවිසුම අනුව දිනකට කොන්ත්‍රාත් විටිනාකමින් සියයට 0.01 වශයෙන් උපරිමය සියයට 5 දක්වා ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 26.453 ක මුදලක් අය කළ හැකිව තිබුණ ද, එම ප්‍රමාද ගාස්තු අය කර ගෙන නැත.

ප්‍රමාද ගාස්තු ලෙස කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගෙන ඇත්තේ ඩොලර් මිලියන 6.6ක මුදලකි.

මෙකී ව්‍යාපෘතිය ප්‍රමාද වීමට හේතු ලෙස වාරිමාර්ග අමාත්‍යංශය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ජල කාන්දුව, කොවිඩ් වසංගතය සහ නොයෙකුත් අවිනිශ්චිත තත්ත්වයන් ඇති වී තිබෙන බවය.

ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය වසර 08කි.(දිවයින)