August 31, 2026

ආපදා ප්‍රතිචාර දැක්වීමේ ශක්‍යතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව සංවිධානය කරන Atlas Angel II ඒකාබද්ධ යුධ අභ්‍යාසය අද ආරම්භ විය.

ශ්‍රී ලංකා සහ ඇමරිකානු සන්නද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ C-130 ගුවන් යානා නඩත්තුව, නාගරික සෙවීම් සහ මුදාගැනීම්, සිද්ධි පාලන පද්ධති, ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව, නායයාම් ආපදා ප්‍රතිචාර මෙන්ම රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත උපද්‍රව පාලනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සහ මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සමුද්‍රීය හා ගුවන් අභ්‍යාසය සඳහා ඇමරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදාව එක්ව සිටින අතර, එක්සත් රාජධානියේ සහ බංග්ලාදේශයේ නිරීක්ෂකයින් ද ඊට එක්ව සිටිති.

මෙම අභ්‍යාසය පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු තනාපති එරික් මේයර් සඳහන් කළේ, මෙම අභ්‍යාසය දෙරට අතර පවතින සැබෑ සහයෝගීතාව ප්‍රායෝගිකව පෙන්නුම් කරන්නක් බවයි.

ශ්‍රී ලාංකිකයින් සහ ඇමරිකානුවන් එක්ව පුහුණු වීම, දැනුම හුවමාරු කරගැනීම සහ එකිනෙකාගෙන් ඉගෙනීම තුළින් ජීවිත හා ජීවනෝපායන් සුරක්ෂිත කරන මෙන්ම වඩාත් ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් ගොඩනැගීමට අවශ්‍ය සූදානම ශක්තිමත් වන බව ද ඔහු පැවසීය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකාව අතර 2021 වසරේදී ආරම්භ වූ සහයෝගීතාව මත පදනම්ව මෙම අභ්‍යාසය සංවිධානය කර ඇත. තවද, 2025 නොවැම්බර් මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් ආපදා ප්‍රතිචාර, ගුවන් සේවා සහ සාගර ආරක්ෂාව පිළිබඳ දෙරටේ සහයෝගීතාව තවදුරටත් නිල වශයෙන් තහවුරු කර තිබේ.