October 17, 2026

නව ක්‍රිකට් තරග රටාවක් වන ‘ටෙස්ට් ටුවෙන්ටි’ (Test Twenty) තරගාවලියේ මංගල අදියර නොවැම්බර් 14 සිට 29 දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වැනි ආකෘතිය ලෙස හඳුන්වා දී ඇති අතර, පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකේම දක්ෂතා ඒකාබද්ධ කරමින් එක් ප්‍රතිඵලයක් තීරණය කිරීම මෙහි විශේෂත්වයයි. එක් තරගයකට පන්දුවාර 80ක් ඇතුළත් වන අතර, එහිදී රතු පන්දුවෙන් සහ සුදු පන්දුවෙන් ක්‍රීඩාකෙරෙන කොටස් දෙකක් පැවැත්වේ.

ඔක්තෝබර් 16 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, වයස අවුරුදු 13ත් 21ත් අතර තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනකු ලොව පුරා සිට මෙම තරගාවලියට එක්වීමට නියමිතය. මහාද්වීප හතරක් නියෝජනය කරන කණ්ඩායම් හතරක් යටතේ තරග පැවැත්වෙන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනකු සහ ක්‍රීඩිකාවන් 20 දෙනකු ඇතුළත් වේ.

තරගයක පළමු පන්දුවාර 40 දිවා කාලයේදී සාම්ප්‍රදායික සුදු ඇඳුමින් සැරසී රතු පන්දුවෙන් ක්‍රීඩාකෙරේ. ඉතිරි පන්දුවාර 40 රාත්‍රී ආලෝක ධාරා යටතේ වර්ණවත් ඇඳුමින් සැරසී සුදු පන්දුවෙන් පැවැත්වේ. පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම රැස්කරන ලකුණු එකතු කර අවසන් ජයග්‍රාහකයා තීරණය කෙරෙන අතර, දෙපාර්ශ්වයේම ලකුණුවලට සමාන වැදගත්කමක් හිමිවේ. කාසියේ වාසිය අනුව පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායම සහ පළමුව ක්‍රීඩා කරන පිරිමි හෝ කාන්තා කණ්ඩායම තීරණය කෙරේ.

දින 300ක් පුරා පැවති තේරීම් පරීක්ෂණ සඳහා මහාද්වීප පහකින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සහභාගී වී ඇති අතර, අවසන් ක්‍රීඩක ලැයිස්තුව මේ මස අගදී පැවැත්වෙන ක්‍රීඩක තේරීම් කෙටුම්පත් ක්‍රියාවලියකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

හිටපු අන්තර්ජතික් ක්‍රිකට් තරු වන ඒ.බී. ඩිවිලියර්ස්, මැතිව් හේඩන් සහ ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් තරගාවලියේ උපදේශක මණ්ඩලයට ඇතුළත් වේ. විරාට් කෝලිගේ පුහුණුකරු ලෙස ප්‍රසිද්ධ රාජ්කුමාර් ශර්මා ගෝලීය තේරීම් කමිටුවේ සභාපතිත්වය දරයි.

තරගාවලියේ නිර්මාතෘ ගෞරව් බහිරවානි පැවසුවේ, ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් සංස්කෘතිය සහ තරුණ ක්‍රීඩකයන් කෙරෙහි පවතින උනන්දුව හේතුවෙන් මංගල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් බවයි. “අපි මේ තරගාවලියට සුදුසුම ස්ථානය සොයාගත්තා. ශ්‍රී ලංකාව පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමට පවා ක්‍රීඩාංගණ පුරවන රටක්. මේ දිවයින තරම් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදරය කරන වෙනත් රටක් ලෝකයේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ SSC පරිපාලනයටද ඔහු ස්තුතිය පළකරයි.

නොවැම්බර් 14 වැනිදා සමාරම්භක උත්සවයෙන් තරගාවලිය ආරම්භ වන අතර, අවසන් තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 30 වැනිදා අමතර දිනයක් ලෙස වෙන්කර ඇත. සියලු තරග Sony Sports Network ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, අන්තර්ජාතික විකාශන සහ අන්තර්ජාල ප්‍රවාහ පහසුකම්ද සකස් කෙරේ.

ටෙස්ට් ටුවෙන්ටි තරග රටාව නිර්මාණය කර ඇත්තේ ගෞරව් බහිරවානි විසිනි. එහි හිමිකාරීත්වය Parity Sports India Private Limited සමාගම සතුය.