November 24, 2025

මෙම වසරේ ගත වූ කාලය තුළ නව බදු ගෙවන්නන් 200,000ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වසරේ නව සමාගම් ලියාපදිංචි කිරීම් 18,000ක් ද වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් පී. නන්දන කුමාර අනාවරණය කරයි.

මේ හමුවේ ශක්තිමත් බදු පරිපාලනයක ඇඟවීමක් ලෙස තනි පුද්ගල බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුරාබදු බදු ලියාපදිංචි කිරීම් 30,000 දක්වා ළඟා වී ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, 2019 වසරේදී රුපියල් බිලියන 1,025 ක් වූ බදු ආදායම 2020 දී රුපියල් බිලියන 523 දක්වා පහත වැටුණු අතර 2021 දී රුපියල් බිලියන 632 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

අනතුරුව බදු එකතු කිරීම් යළිත් සැලකිය යුතු ලෙස වැඩි වූ අතර එම සංඛ්‍යාව 2022 දී රුපියල් බිලියන 1,058 ක් සහ රුපියල් බිලියන 1,058 ක් ලෙස වාර්තා විය. එම ආදායම 2023 වසරේදී වාර්තා වුණේ රුපියල් බිලියන 1,842 ක් ලෙසයි.

අනතුරුව මෙරට බදු ආදායම 2024 දී ද අඛණ්ඩව වර්ධනය වෙමින් පැවැති අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම එකතුව වන රුපියල් බිලියන 2,620 ක් ලෙස සටහන් විය.

2025 සඳහා ද සිය වාර්ෂික ඉලක්කය සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් පී. නන්දන කුමාර පවසන්නේ, පෙර වසරට සාපේක්ෂව වැට් බදු එකතු කිරීම් 21% කින් සහ ආදායම් බදු ආදායම 14% කින් වැඩි වී ඇති බවයි.

2025 සඳහා බදු සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 1.8 දක්වා ඉහළ නංවා ඇති බව ද ඔහු පවසයි.