August 18, 2023

හෝමාගම, කටුවන කර්මාන්ත කලාපයේ පිහිටි රසායනික ගබඩා කම්හලක් ඇතුළු කර්මාන්තශාලා දෙකක බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇති වූ ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැඳවා තිබේ.

හදිසි ඇමතුමක් ලැබීමත් සමඟ හොරණ නගර සභාවේ සහ හෝමාගම මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 7ක් ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් එම ස්ථානයට යවා තිබිණි.

හෝමාගම පොලිසිය පැවසුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළුන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අද අලුයම 03 පමණ වන විට ගින්න නිවා දැමූ බවයි.

ගින්න හේතුවෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.

ගින්නෙන් විපතට පත් එක් කම්හලක් DIC Lanka Ltd නිෂ්පාදන කම්හල ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ගින්න හේතුවෙන් එක් මෝටර් රථයකට ද හානි සිදුව ඇති බවයි.

මීට අමතරව, ගින්නෙන් බලපෑමට ලක් වූ එක් කර්මාන්ත ශාලාවක් රසායනික ගබඩා කිරීමේ ස්ථානයක් බව වාර්තා වේ.

අනතුරුදායක රසායනික ද්‍රව්‍ය තිබිය හැකි බැවින් නැවත දැනුම්දෙන තුරු එම ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාර්මික කලාපය තුළ අනෙකුත් කර්මාන්තශාලාවල මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීමට පියවර ගෙන ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ද දැනුවත් කර ඇති අතර ගින්නට හේතුව සොයාගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ගින්න පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව යොදවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

මේ අතර, සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසා ඇත්තේ ගින්නට හසු වූ කර්මාන්තශාලා සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී හෝ සීඅයිසී සමූහයේ වෙනත් සමාගමකට අයත් නොවන බවයි.