
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 2026.08.01 වන දින යාපනයේ පදිංචි නිවුන් සහෝදරියන් දෙදෙනකු වන අ.පො.ස. උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් ගින්නෙන් පිළිස්සී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කළේය.
මෙය තමන් විසින්ම ගිනි තබාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමේ උත්සාහයක් බවට නිවුන් සහෝදරියන්ගෙන් එක් අයකු තෙලිප්පලෙයි මූලික රෝහලේදී මරණාසන්න ප්‍රකාශයක් ලබාදී තිබේ. කෙසේ වෙතත්, මෙය සැලසුම් සහගත ඝාතනයක් බවත්, ඇසින් දුටු සාක්ෂිකරුවකුට අනතුරක් සිදුවිය හැකි බැවින් ඔවුන් එලෙස ප්‍රකාශ කළ බවත් එම සහෝදරියන්ගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඒ සඳහා සාක්ෂි සහ සාධක ද තමන් සතුව පවතින බව ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් ඔවුහු අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
“අපගේ සහෝදරියන් මියගිය සිද්ධිය සියදිවි නසාගැනීමක් බවට පිටතට ප්‍රචාරය වෙමින් පවතී. නමුත් එය සැලසුම් සහගත ඝාතනයක් බව අපි තරයේ ප්‍රකාශ කරමු. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සහ සාධක අප සතුව තිබේ.
ඔවුන් දෙදෙනා මියයාමට පෙර, ඔවුන්ගෙන් එක් අයකු ‘ජීවත්වීමට කැමැත්තක් නොමැති නිසා තමන් විසින්ම ගිනි තබාගත් බව’ ප්‍රකාශ කර තිබිණි . නමුත් සැබෑව එය නොවේ.
මෙම සිද්ධිය සිදුකිරීම සඳහා පුද්ගලයන් පස්දෙනකු අපගේ නිවසට පැමිණි අවස්ථාවේදී එය එක් අයකු විසින් සියැසින් දැක තිබේ. එම පුද්ගලයාට ද එම කණ්ඩායම විසින් තර්ජනය කර ඇත. සිදුවූ සැබෑ තත්ත්වය ප්‍රකාශ කළහොත් එම ඇසින් දුටු සාක්ෂිකරුවාට යම් අනතුරක් සිදුකරන බවට ඔවුන් තර්ජනය කර තිබේ.
එබැවින් තමන්ගේ ජීවිතය අවසන් වීමට යන බැවින් වෙනත් අයකුට අනතුරක් සිදුවීමට ඉඩ නොදිය යුතුය යන අදහසින් ඔවුන් තමන් විසින්ම ගිනි තබාගත් බවට ප්‍රකාශ කර ඇති බව අපගේ අදහසයි.
අපගේ නිවසේ ආලින්දයේ කොටසක පිළිස්සුණු සලකුණු තිබුණි. මුලදී අප සිතුවේ සිද්ධිය සිදුවී තිබුණේ එම ස්ථානයේ බවයි. නමුත් පසුවයි දැනගත්තේ එම ස්ථානයේ බැඳ තිබූ රෙදි වැලේ වනා තිබූ ඇඳුම් පහළට දමා ගිනි තබා ඇති බව.
ඔවුන් එම ස්ථානයේ ගිනිගෙන තිබුණේ නම් නිවසේ වහලයේ ඇති ලෙවල් ෂීට්වල දුම් පැල්ලම් තිබිය යුතුය. නමුත් එවැනි කිසිදු සලකුණක් දක්නට නොලැබිණි.
නිවසේ දොර විවෘත කළ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාම එකිනෙකාට ආසන්නව පිළිස්සී සිටිනු දක්නට ලැබිණි. මෙය ඇඳුම් ගිනි තබා තිබූ ස්ථානයට යාබද කාමරයයි.
ඔවුන් නිවස තුළදී තමන් විසින්ම ගිනි තබාගෙන තිබුණේ නම් නිවස තුළ පෙරළෙමින් දඟලන්නට ඉඩ තිබිණි. නමුත් නිවසේ කිසිදු ස්ථානයක එවැනි සලකුණු දක්නට නොලැබිණි.
ගින්නෙන් පිළිස්සෙන පුද්ගලයන් පෙරළෙමින් දඟලන්නේ නම් ඔවුන් විවිධ ස්ථානවලට විසිරී සිටිය යුතුය. නමුත් ඔවුන් දෙදෙනාම එකිනෙකාට ආසන්නව සිටියේය.
සිද්ධිය සිදුවූ දිනයට ආසන්න දිනවල නිවසේ පිටුපස ප්‍රදේශයේ හොඳින් පිළිස්සී තිබූ අත් ආවරණ දෙකක් තිබුණි. මුලින් එය සාප්පු බෑගයක් යැයි සිතා පරීක්ෂා කළ අවස්ථාවේදී එය අත් ආවරණ බව දැනගැනීමට හැකිවිය.
එමෙන්ම මීට දින කිහිපයකට පෙර නිවස ඉදිරිපිට ඇති කෙසෙල් ගස අසල වියළි කොළ වළ දැමීම සඳහා වළක් කැපූ අවස්ථාවේදී එම ස්ථානයෙන් තවත් අත් ආවරණයක් මතුවිය. එම ස්ථානයේ වියළි කොළ තිබූ අතර අපි මරණ කටයුතුවල නිරතව සිටි බැවින් එම ස්ථානයේ අලුතින් වළක් හාරා තිබූ බව අපට දැනගැනීමට නොහැකි විය.
භූමිතෙල් බහාලුමේ මිට කොටසේ ඇඟිලි සලකුණු නොතිබිණි. ඒ වෙනුවට භූමිතෙල් බහාලුමේ මිටට පහළ කොටසේ ඇඟිලි සලකුණු තිබිණි.
ඔවුන් තමන් විසින්ම ගිනි තබාගෙන තිබුණේ නම් ගිනි තබාගැනීමට පෙර භූමිතෙල් වත්කර තිබිය යුතුය. භූමිතෙල් වත්කිරීමෙන් පසු බහාලුම පසෙකින් තබා හෝ ඉවතට විසි කර ගිනි තබාගන්නට ඇත. නමුත් එහි තිබූ සලකුණු අනුව පෙනී යන්නේ ගින්නෙන් පසුව යම් අයකු ඔවුන්ගේ දෑත් අල්ලාගෙන සිටි ආකාරයකි.
භූමිතෙල් බහාලුම සහ ගිනිපෙට්ටිය එකිනෙකට ආසන්නව තබා තිබිණි. ඔවුන් තමන් විසින්ම ගිනි තබාගෙන තිබුණේ නම් ගිනි තැබීමෙන් පසු ගිනිපෙට්ටිය රැගෙන ගොස් භූමිතෙල් බහාලුම අසල සන්සුන්ව තැබීමට හැකියාවක් නොතිබිය යුතුය. ගිනි තැබූ වහාම ඇතිවන වේදනාව හේතුවෙන් එය අතහැර දැමීමට හෝ එම ස්ථානයේම විසි කිරීමට ඉඩ තිබිණි.
අපගේ නිවසේ සිට මාර්ගය හරහා මීටර් 75ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑ සහිත ඉඩමක පිළිස්සුණු සලකුණු තිබේ.
එම ස්ථානයේ අපගේ නිවසේ තිබූ බිම් ඇතිරිල්ලක කොටසක් ද තිබුණි. එම බිම් ඇතිරිල්ලේ කොටස දැනට අපගේ නිවසේ දක්නට නොමැත. එම ස්ථානයේ ඇඳුම් ගිනි තබා තිබූ බවට සලකුණු දක්නට ලැබේ. යම් දෙයක් බැඳ තබා තිබූ ආකාරයට පෙනෙන වයර් කැබලි සහ ලණු ද එහි තිබිණි.
ඊට ආසන්නයේ පිහිටි අත්හැර දැමූ ගොඩනැගිල්ලක බිත්තියේ රුධිර පැල්ලම් දක්නට ලැබිණි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිසියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඔවුන් මේ වනතෙක් එම ස්ථානයට පැමිණ නැත.
මේ පිළිබඳව අපි සුන්නාගම් පොලිසිය, යාපනය සහකාර පොලිස් අධිකාරීවරයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මානව හිමිකම් කොමිෂන් සභාව සහ ළමා හා කාන්තා කටයුතු අංශය ඇතුළු සියලුම අදාළ ආයතන වෙත දැනුම් දුන්නෙමු. නමුත් කිසිදු පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානයට ද යොමු කර තිබේ.
ඔවුන් දෙදෙනා තමන් විසින්ම ගිනි තබාගෙන තිබුණේ නම් ඔවුන්ගේ කකුල් සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබිය යුතුය. නමුත් ඔවුන්ගේ දණහිසට පහළ කොටස්වල කිසිදු පිළිස්සීමේ සලකුණක් නොතිබිණි. ඔවුන් වැතිර සිටි තත්ත්වයේදීම ගිනි තබා ඇති බව මේ මගින් තහවුරු වන බව අපගේ අදහසයි.
අපගේ නිවසට පැමිණෙන මාර්ගයේ පිහිටි දේවාලයේ CCTV කැමරාව අක්‍රිය කර තිබේ. එමෙන්ම අපගේ නිවසට ආසන්නයේ පිහිටි නිවසක CCTV කැමරාවේ Hard Disk එක ගලවා ඉවත් කර තිබේ. අපට එකින් එක සැක මතුවීමත් සමඟ දැන් අපි මේ කරුණු පිළිබඳව සොයා බලමින් සිටිමු.
මියගිය සහෝදරියන් දෙදෙනාගේ වැඩිමහල් සහෝදරයා වන මා ඔවුන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ ජර්සි ඇඳුම් ගිනි තැබූ බවත් පිටතට ප්‍රචාරය වෙමින් පවතී. පොලිසිය ද විමර්ශනවලදී මේ පිළිබඳව මගෙන් විමසා සිටියේය.
නමුත් එය සත්‍යයක් නොවේ. ඔවුන් ක්ලබ් එකකට යාමට මගේ කැමැත්තක් නොතිබිණි. මමත් පිරිමි පුද්ගලයකු බැවින් එවැනි ස්ථානවල සිදුවිය හැකි දේ පිළිබඳව දන්නා නිසා ඔවුන්ට එහි නොයන ලෙස මම අවවාද කළෙමි.
එමෙන්ම ඔවුන් දෙදෙනා ලබන වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියහ. එබැවින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවිය යුතුය යන හේතුව මත පමණක් මම ඔවුන් එහි යාම වැළැක්වීමට උත්සාහ කළෙමි.
පිටතට ප්‍රචාරය වන ආකාරයට මම ඔවුන්ගේ ජර්සි ඇඳුම් කිසිවක් ගිනි තබා නැත. එවැනි කිසිවක් ද සිදුකර නැත. ඔවුන්ගේ සියලුම ජර්සි ඇඳුම් අප සතුව තිබේ. මා මේ වන විටත් ඇඳ සිටින්නේ ද ඔවුන්ගේ ජර්සි ඇඳුමකි.
එදින පැවැති මරණ පරීක්ෂණ කටයුතුවලදී පොලිසිය ඉතා අයහපත් ආකාරයෙන් හැසිරුණි. පොලිස් නිලධාරීන් හත් අටදෙනකු නැවත නැවතත් මගෙන් ප්‍රශ්න කළහ. වසරක කාලයක් යනතුරු මළ සිරුරු නැවත ගොඩගැනීමට ඉඩ නොදෙන බවට ද පොලිසිය මට තර්ජනය කළේය.
එම හේතුව නිසා එදින මම දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්ව සිටියෙමි. මා ව්‍යාකූල තත්ත්වයක සිටි බැවින් එදින අධිකරණය හමුවේ මෙම කරුණු ප්‍රකාශ කිරීමට මට නොහැකි විය. කෙසේ වෙතත්, එය සැක සහිත සිද්ධියක් බව එදිනම මම ප්‍රකාශ කළෙමි.
එදින පොලිසියේ ක්‍රියාකලාපය තවදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා අවසානයේදී පොලිසිය සමඟ දැඩි වාද විවාදයක් ඇති විය. එය එම ස්ථානයේ සිටි සියලු දෙනාම දුටුවේය. ඉන් අනතුරුව පොලිසිය විමර්ශන කටයුතු අවසන් කළේය.
දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ප්‍රකාශ කරමින් මා සුන්නාගම් පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී, එහි පොලිස් නිලධාරීන් මට තර්ජනය කරමින්,
‘මුලින්ම ඔබව, ඔබගේ මවව සහ අනෙක් සහෝදරියව අත්අඩංගුවට ගෙන ඇතුළට දැමීමෙන් පසුවයි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නේ’ යනුවෙන් පවසා තිබේ.
සාක්ෂි සහ සාධක පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඔවුන් මේ වනතෙක් පැමිණ නැත.
සුන්නාගම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර අනෙකුත් පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අපට සැකයක් පවතී.
අපගේ ගැටලුව පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර, අපගේ සහෝදරියන් දෙදෙනාට යුක්තිය ඉටුකර දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
මෙම ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් අපට සහාය ලබාදිය යුතුය.
ආණ්ඩු පක්ෂයේ සිටින සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, ඔබගේ නිවසේ දරුවන් දෙදෙනකු ලෙස ඔවුන් දෙදෙනා සලකා, අපට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart