November 16, 2026

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිතරගයෙන් නම යෝජනා කිරීමෙන් අනතුරුව, ජේ ෂා දෙවැනි වරටත් එහි සභාපතිවරයා ලෙස යළි පත් කර තිබේ.

ඉන්දුනීසියාවේ බාලි හිදී පැවැති ICC අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටු රැස්වීම්වලින් අනතුරුව මෙම තීරණය තහවුරු කෙරිණි.

ජේ ෂාගේ නායකත්වය කෙරෙහි අධ්‍යක්ෂ මණ්ඩලය තබා ඇති විශ්වාසය මෙම යළි පත් කිරීම තුළින් පිළිබිඹු වන බවත්, ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක පිරිස වැඩි කර ගැනීම සහ වාණිජමය සංවර්ධනය කෙරෙහි ක්‍රිකට් ක්‍රීඩාව අවධානය යොමු කර ඇති අවස්ථාවක එම කටයුතුවල අඛණ්ඩතාව මෙමගින් තහවුරු වන බවත් ICC ආයතනය පවසයි.

සිය යළි පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ජේ ෂා, ICC අධ්‍යක්ෂ මණ්ඩලය තමා කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

“ICC අධ්‍යක්ෂ මණ්ඩලය මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම බෙහෙවින් ගෞරවයට පත් වන අතර, සෑම අධ්‍යක්ෂවරයකුගේම අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් අවංකවම කෘතඥ වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් වීම, නව ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ අනාගත පරම්පරාවන් දිරිමත් කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන තිරසාරභාවය ශක්තිමත් කිරීම, ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට සහයෝගය දැක්වීම මෙන්ම ගෝලීය වශයෙන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සිය ප්‍රමුඛතා අතරට ඇතුළත් වන බව ෂා සඳහන් කළේය.

ආයතනයේ අපේක්ෂාවන් අර්ථවත් ප්‍රගතියක් බවට පත් කිරීමටත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සදාකාලික උරුමයක් ඉතිරි කිරීමටත් ICC සාමාජිකයින් සමඟ සමීපව කටයුතු කිරීමට තමා කැපවන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රතිඥා දුන්නේය