July 11, 2026

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ වහාම කුරුල්ලෙකු ගැටීමේ අනතුරකට ලක්වීම හේතුවෙන්, ඉස්තාන්බුල් බලා පියාසර කිරීමට තිබූ ටර්කිෂ් එයාර්ලයින්ස් සමාගමට අයත් යානයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ ගුවන් කලාපයේ තවමත් රැඳී සිටිමින් ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

TK731 දරන ගුවන් වාරය යටතේ ක්‍රියාත්මක වූ මෙම Airbus A330-300 වර්ගයේ යානය, ආරක්ෂිත පියවරක් ලෙස නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වීම සඳහා මීගමුව කලපුව ආශ්‍රිත ගුවන් කලාපයේ පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ වටරවුම් ගමනක නිරත වෙමින් සිටින බව පැවැසේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ, මෙම Airbus A330-300 යානය සතුව ගුවනේදී ඉන්ධන ඉවත් කිරීමේ පද්ධතියක් නොමැති නිසා, යානයේ ගොඩබැස්වීමේ බර අඩු කරගැනීම සඳහා මෙලෙස අඛණ්ඩව ඉන්ධන දහනය කරමින් සිටින බවයි.

බලධාරීන් තහවුරු කරන පරිදි යානයේ පාලන කටයුතු සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයේ පවතින අතර, එහි සිටින සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, පෙර සූදානමක් ලෙස ගොඩබැස්වීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුව ගුවන්තොටුපළ හදිසි මුදාගැනීමේ සේවාවන් ද සූදානම් කර තිබේ.

මේ අතර, මෙම යානයේ පියාසර රටාව නිරීක්ෂණය කිරීම සඳහා ලොව පුරා විශාල පිරිසක් අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටිති.

ඒ අනුව Flightradar24 සේවාව ඔස්සේ මේ වන විට ලෝකයේ වැඩිම පිරිසක් සජීවීව නිරීක්ෂණය කරන (Most-tracked) ගුවන් යානය බවට ද මෙය පත්ව ඇත.
(Newswire.lk)