May 31, 2026

ඉරානය විසින් කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික ආයුධ නිපදවන්නේ නැති බවට තමන් වෙත සහතික වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙසේවුවද, මැදපෙරදිග යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම වෙනුවෙන් ට්‍රම්ප් විසින් වඩාත් දැඩි කොන්දේසි ඇතුළත් නව සාම යෝජනාවලියක් ටෙහෙරානය වෙත යවා ඇති බව ඇමරිකානු ජනමාධ්‍ය වාර්තා කරයි.

ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් කියාසිටියේ, තමන්ට අවශ්‍ය ප්‍රධානතම සහතිකය න්‍යෂ්ටික අවි තහනම් කිරීම බවත්, ඉරානය ඊට එකඟ වූ බවත්ය.

එහෙත්, මෙම එකඟතාවන් පිළිබඳව ඉරාන බලධාරීන් සැක පළකර ඇති අතර, සාකච්ඡාවලට පෙර ඇමරිකාව විසින් අත්හිටුවා ඇති තමන්ගේ ඩොලර් බිලියන 12ක මුදල් නිදහස් කළ යුතු බවට ඉරානය කොන්දේසි පනවා ඇත.

එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ ස්වෛරීභාවය සහ පාලනය ඉරානය සතුකර ගැනීමේ පනතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී දෙරට අතර තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්වුවද, ඉරාන වරායක් වන බන්ඩර් අබ්බාස් වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වීම ඇතුළු සන්නද්ධ ගැටුම් තවමත් බහුලව වාර්තා වෙයි.

මේ අතර, ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ, අවශ්‍ය වුවහොත් නැවත යුද්ධයක් ආරම්භ කිරීමට වොෂින්ටනය සූදානම් බවයි.

අනෙක් පසින් ලෙබනනයේ දරුණු සටන් ඇවිළෙමින් පවතින අතර, ලෙබනනය ද මෙම සාම එකඟතාවට ඇතුළත් කරගත යුතු බවට ඉරානය අවධාරණය කරයි.

කෙසේවුවද, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ නියෝග මත එරට හමුදාව ලෙබනනයේ ලිටානි ගංගාව පසුකරමින් හිස්බුල්ලා සංවිධානයට එරෙහි ගොඩබිම් ප්‍රහාර තවදුරටත් පුළුල් කර ඇත.

ඊශ්‍රායලය සාමූහික දඬුවම් පමුණුවමින් සිය රට විනාශ කරන බවට ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් චෝදනා කරයි.

මුළු මහත් ගෝලීය ආර්ථිකයටම තර්ජනයක් වී ඇති මෙම දේශපාලනික අර්බුදය සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මකය.