April 26, 2026

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය වෙනුවෙන් සෙනසුරාදා රාත්‍රියේ සංවිධාන කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් එම ස්ථානයෙන් පිටතට රැගෙන යෑමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

රොයිටර්ස් වෙනුවෙන් සේවය කරන නිදහස් ඡායාරූප ශිල්පියකු සඳහන් කර ඇත්තේ හෝටලයේ විශාල පිපිරුම් හතරක් හෝ හයක් ඇසුණු පසු ට්‍රම්ප් ආරක්ෂිත බව ධවල මන්දිර සහායකයෙක් පැවසූ බවයි.

මාධ්‍ය වාර්තා ගණනාවක් පැවසුවේ එම ස්ථානයේ තුවක්කුකරුවකු සිටි බවයි.

රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූවන් වහාම නිහඬ වූ අතර මිනිසුන් “පහළට යන්න, පහළට යන්න!” යනුවෙන් කෑ ගැසීමට පටන් ගෙන තිබේ.

ආරක්ෂාව සඳහා අවශ්‍ය ආම්පන්නවලින් සැරසුණු රහස් සේවා නිලධාරීන් භෝජන සංග්‍රහය පැවති කාමරයට දිව යන විට සිය ගණනක් අමුත්තන් මේස යට සැඟව සිටි බව කියැවේ.

ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව රහස් සේවා නිලධාරීන් විසින් පිටතට රැගෙන යෑමට පෙර වේදිකාව පිටුපසට නැමී සිටි බව ද මාධ්‍ය වාර්තා කරයි.

රැඳී සිටි 2,600 දෙනාගෙන් බොහෝ දෙනෙක් ආරක්ෂිතව සිට ඇති අතර වේටර්වරු භෝජන ශාලාව ඉදිරිපිටට පලා ගොස් තිබේ.

ආරක්ෂකයන් විසින් වේදිකාවෙන් පිටතට රැගෙන යෑමට ටික වේලාවකට පෙර, මෙලනියා ට්‍රම්ප් පිරිස අතර ඇති කිසියම් දෙයකට ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට තිබිණි.