March 30, 2026

එක්සත් ජනපදය ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් අත්කර ගෙන ඇති බව විශ්වාස කරන්නේයැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී එයාර් ෆෝස් වන් හිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු කියා සිටියේ, “ඔවුන් මරා දමා ඇති නිසා අපට පාලන තන්ත්‍ර වෙනසක් ඇති බව ඔබට සැබවින්ම පැවසිය හැකියි” යනුවෙනි.

“ඔබ දැනටමත් බැලුවහොත් අපට පාලන තන්ත්‍ර වෙනසක් සිදුවී තිබෙනවා, මන්ද එක් පාලන තන්ත්‍රයක් විනාශ වී, ඔවුන් සියල්ලෝම මිය ගොස් තිබෙනවා.” යනුවෙන් ගුවන් යානයේ සිටි වාර්තාකරුවන්ට ඔහු පැවසීය.

“ඊළඟ පාලන තන්ත්‍රය ද බොහෝ දුරට මිය ගොස් තිබෙනවා, අප දැනට කටයුතු කරන තුන්වැනි පාලන තන්ත්‍රයේ වෙනස් පුද්ගලයන් සිටින්නේ , එය සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයන් කණ්ඩායමක්, එබැවින් මම එම පාලන තන්ත්‍ර වෙනස් කියලා සලකනවා, අවංකවම ඔවුන් ඉතා සාධාරණ වී සිටිනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.

‘‘තිබුණු පාලනය ඇත්තටම නරක, ඇත්තටම නපුරු පාලනයක්… දෙවැන්න දැන් පත්ව සිටිනවා, ඒ හැමෝම ගිහින්, සුළු වශයෙන් හෝ මනුස්සකමක් තියෙන ජීවිතයක් හැර හැමෝම මිය ගිහින්,’’ යනුවෙන් මාසයක් පුරා පැවති යුද්ධයෙන් මියගිය ඉරාන නායකයන් සංඛ්‍යාව උපුටා දක්වමින් ට්‍රම්ප් පැවසීය.

ඉරානය එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉඩ ඇති බව විශ්වාස කරන බවත් ඔහු පවසයි.

‘‘මම හිතන්නේ අපි ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර ගනීවි, නිසැකවම, එසේ නොවෙන්නත් ඉඩ තියෙනවා’’ ඔහු පවසයි.

‘‘ඉරානය ගැන ඔබ කිසි විටෙකත් දන්නේ නැහැ, අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා තමයි ඊට පස්සේ අපි පහර දෙන්නත් පුළුවන්,’’ ඔහු තවදුරටත් පැවසීය.