December 3, 2025

සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ නිවාස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා රජය රක්ෂණ සහ බැංකු අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී ඊයේ පැවසීය.

2026 සාර්ව ආර්ථික ගමන් පථය සහ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නොවෙනස්ව තබා ගනිමින් මෙම කටයුතු සිදු කරන බව ඔහු සඳහන් කළේය.

දුප්පත්ම කුටුම්භ, නිවාස අහිමි වූවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙම පරිමාණයේ කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව අඩු බවත්, මෙම අර්බුදය ප්‍රතිසංස්කරණ අඩාල කළ හැකි බවට ඇතැමුන් බිය වී ඇති බවත් ඔහු පිළිගත්තේය.

ආර්ථික බිඳවැටීම පාලනය කිරීම සඳහා බලධාරීන් මූල්‍ය පද්ධතිය සමඟ ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව ආචාර්ය සූරියප්පෙරුම පැවසීය.

“තම සේවාදායකයින්ට සහ ගනුදෙනුකරුවන්ට ඇති බලපෑම කුමක්ද සහ රට ඉදිරියට ගෙන යාම සඳහා කණ්ඩායමක් ලෙස එකට වැඩ කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට අපි බැංකු සහ රක්ෂණ අංශ වෙත යොමු වෙනවා. ව්‍යාපාරවලට ඉතා ඉක්මනින් ඔවුන්ගේ දෙපයින් නැවත නැගීසිටීමට සහ ආර්ථිකයට නැවත දායක වීමට සහාය වීමට හැකි වන පරිදි ඔවුන්ට ඇති අවශ්‍යතා අපි තේරුම් ගැනීමට අවශ්‍යයි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

“මෙය ජනතාවගේ ජීවනෝපායට බාධා නොවන බව සහතික කිරීම හෝ හැකිතාක් දුරට බාධා අවම කිරීම සහතික කිරීම සඳහා සිදු කරන්නේ,” ආචාර්ය සූරියප්පෙරුම පැවසීය.

මූල්‍ය ප්‍රතිචාරය පැහැදිලි කරමින් ආචාර්ය සූරියප්පෙරුම පැවසුවේ හදිසි අවස්ථාවන් සඳහා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන මගින් කලින්ම ප්‍රතිපාදන ලබා දී දුන් බව ඔහු සඳහන් කළේය.

“හදිසි අවස්ථා සඳහා අයවැය ප්‍රතිපාදන දැනටමත් තිතිබෙනවා. එයින්, ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සහ පද්ධතියට තුළ අප ගෙන ආ මූල්‍ය විනය පවත්වා ගැනීමට රුපියල් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් දැන් වෙන් කර තිබෙනවා.” යැයි ඔහු පැවසීය.

නිවාස ආධාර සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

“ඒ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5ක් නිදහස් කිරීමට අපි අවසර දුන්නා. එම අරමුදල් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ආධාර අවශ්‍ය නිවාසවලට ලබා දෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

“දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් මිලියන 50ක් දක්වා භාවිත කිරීමට රජය කඩිනම් පියවර ගත්තා. අද උදෑසන අපි අමාත්‍ය ලේකම්වරුන්ට රුපියල් මිලියන 150ක් දක්වා වියදම් කිරීමට ඉඩ ලබා දුන්නා නැවත ගොඩ නැගීමේ කටයුතු වෙනුවෙන්. චක්‍රලේඛ හෝ නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීම ආදී කිසිවක් මගින් ක්ෂණික සහන ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගයක් නොවන බව සහතික කිරීම සඳහා මෙම පියවර ගනු ලැබුවා,” භාණ්ඩාගාර ලේකම් පැවසීය.

ලෝක බැංකුවේ සහාය ඇතිව බලධාරීන් වේගවත් හානි තක්සේරුවක් ආරම්භ කර ඇත.

“ලෝක බැංකුව ඔවුන්ගේ වේගවත් පශ්චාත් හානි තක්සේරු පද්ධතිය හරහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට සහාය ලබා දී තිබෙනවා. හානියට පත් ව්‍යුහයන් ගණන පමණක් නොව එම හානිවල පිරිවැය පිළිබඳ මූලික අවබෝධයක් සති දෙකක් ඇතුළත ලබා ගැනීමට අපි අපේක්ෂා කරනව.” යැයි ඔහු පැවසීය.

සම්බන්ධතා සහ මූලික ආර්ථික කාර්යයන් යථා තත්ත්වයට පත් කිරීම ක්ෂණික ප්‍රමුඛතාවක් ලෙස සළකා තිබේ.

“මිනිසුන්ට මුදල් මගින් දායක වීමට ඉඩ සැලසීම සඳහා පහසුකම් අපි වහාම නිර්මාණය කළා. ඊයේ වන විට අපට රුපියල් මිලියන තුන්සියයකට වඩා ලැබී තිබුණා,” ඔහු පැවසීය.

සහන භාණ්ඩ සඳහා රේගුව වේගවත් පද්ධතියක් හඳුන්වා දී ඇත.

“රේගුව විසින් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. එම යාන්ත්‍රණය මඟින් ලේඛනගත කිරීම සහ නිෂ්කාශනය සරල කර තිබෙනවා. DMC ලෙස සලකුණු කර ඇති ඕනෑම භාණ්ඩ තොගයක් මෙම කඩිනම් ක්‍රියාවලිය හරහා වහාම නිෂ්කාශනය කරනවා,” ආචාර්ය සූරියප්පෙරුම පැවසීය.

යථා තත්ත්වයට පත්වීමේ සහ දිගුකාලීන වර්ධන සැලැස්ම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රීයව පවතින බව ඔහු අවධාරණය කළේය.

බහුපාර්ශ්වික හවුල්කරුවන් එම වැඩසටහන සමඟ සම්පූර්ණයෙන්ම පෙළ ගැසී සිටින බව ආචාර්ය සූරියප්පෙරුම පැවසීය.

හානියේ තරම විශාල වුවද, ලබන වසරේ ආර්ථික ගමන් පථය වෙනස් කිරීමට භාණ්ඩාගාරය අපේක්ෂා නොකරයි.

“රටක් ලෙස ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධයි, එය පෙන්වීමට අපට මෙය තවත් අවස්ථාවක්,” ඔහු පැවසුවේය.