February 2, 2026

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන හුණුගල් දාමය වෙත වාණිජ සංචාරක බෝට්ටු චාරිකා ආරම්භ කිරීමට මන්නාරමේ පළාත් පාලන ආයතන විසින් පියවර ගනිමින් සිටී.

මාර්තු 3 වැනිදාට යෙදෙන ලෝක වනජීවී දිනය සනිටුහන් කරමින් මෙය ක්‍රියාවට නැංවීමට නියමිතය.

බෝට්ටු චාරිකා ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද සහ මෙම වැඩසටහනේ ආදායම් බෙදා ගැනීමේ පදනම පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව සහ මන්නාරම ප්‍රාදේශීය සභාව අතර ගැටළු සහ අවහිරතාවක් පැවතිණි.

අවසානයේ දෙපාර්ශ්වයම සමාන ආදායම් බෙදා ගැනීමේ සූත්‍රයකට එකඟ වී තිබේ.

බෝට්ටු ක්‍රියාකරුවන් 52 දෙනෙක් සංචාර පැවැත්වීම සඳහා වන බලපත්‍රවලට ඉල්ලුම් කළහ.

ඔවුන් අතරින් 22 දෙනෙක් දේශීය ධීවර ප්‍රජාව නියෝජනය කරති.

තලෙයිමන්නාරම තොටුපළෙන් ආරම්භ වන මාර්ගෝපදේශක චාරිකා සමඟ වැඩසටහනේ පළමු අදියර සඳහා බිම් මට්ටමේ සංවිධාන තෝරා ගෙන තිබේ.

පසුගිය වසරේ මන්නාරමට ගිය අවස්ථාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කළේ දේශීය සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය නංවාලීම සඳහා මෙම මුලපිරීම හඳුන්වාදෙන බවයි.

පෝක් සමුද්‍ර සන්ධියේ වාණිජ සංචාරක සේවාව පිළිබඳ කතාබහ ආරම්භ වූයේ 2021 දී චීන තානාපති ක්වි ෂෙන්හොං උතුරේ කළ ‘හුරුපුරුදුවීමේ සංචාරය’ අතරතුර හුණුගල් වෙරළ තීරයට කළ සංචාරයකින් පසුවය.

එය කලාපීය ආරක්ෂාව පිළිබඳ නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ගැටළු කිහිපයක් මතු කළේය.