October 19, 2026

පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත පුත්තලම, තිල්ලාඩිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු තිල්ලාඩියේ සිට පුත්තලම නගරය දෙසට කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත, නිලධාරීන් විසින් ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නගුලේෂ්වරන් බව පොලිසිය හඳුනාගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයකට ද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදිය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.