December 27, 2023

රටේ බහුහතරයක් වන සිංහල ජනතාව සිය සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමේදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදුනොවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවද, සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණක් ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අපේ රටේ බහුහතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකිවන්නේ.

සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා.”