June 18, 2025

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන ලියූ ජියන්චාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡාවක් පවත්වන ලදී.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුදු කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් ලියූ ජියන්චාවෝ එහිදී සඳහන් කර ඇත.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානිවන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද ලියූ ජියන්චාවෝ පවසා තිබේ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සසඳහන් කර ඇත්තේ, චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුල ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය. එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවත් ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර එළැඹි අවබෝධයන් අනුව කටයුතු කරන බවත්, චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට ස්තුතිවන්ත වන බවත්, ඉදිරියටත් එම සහාය බලාපොරොත්තු වන බවත් මෙහිදී සඳහන් කර තිබේ.

චීනයේ සිදුකළ මෙම සංචාරයේදී චීනය ගොඩ නැගීමට සභාපති මාඕ සේතුං හිටපු නායකයාගේ සිට ෂී ජින් පිං දක්වා චීනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව සතුටු වන බවත්, චීනය තමන්ට ආවේනික ලෙස මාක්ස්වාදය ඉදිරියට ගෙනයමින් තිබීම චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් සඳහන් කර ඇත.

මෙම සංචාරයේදී පක්ෂ පාසල් තුළින් සහ ගම්මාන ගොඩනැගීමට කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් කළ අධ්‍යයන තුළින් ලද අත්දැකීම් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට බෙහෙවින් දායක කර ගත හැකි බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා ඇත.

මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ක⁣ටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි සුන් හැයියාන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිරිසක් එක් වී සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් ඒක්වී සිටියහ.