July 17, 2025

මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර රුපියල් 50,000ත් රු. 65,000ත් අතර අධික මිලකට අලෙවි වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල අවධානය ‍යොමුව තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශේෂ රැස්වීමකට එක්වෙමින් මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක අනතුරු අඟවා ඇත්තේ, නිසි නියාමන යාන්ත්‍රණයක් හඳුන්වා නොදෙන්නේ නම්, අවසන් රන්දෝලි පෙරහැරේ එක් ආසනයක මිල රු.100,000 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

එමන්ම නගරාධිපතිවරයා පවසා ඇත්තේ, මහනුවර මහනගර සභාව හරහා නිල වශයෙන් අලෙවි වන්නේ සීමිත නැරඹුම් ආසන සංඛ්‍යාවක් පමණක් බවත් ඒවායෙහි මිල රුපියල් 12,000, රුපියල් 15,000ක් සහ රුපියල් 18,000ක් වන බවයි.

මෙම ආසන වෙන්කරවා ගැනීම් මාර්ගගතව සිදුකළ හැකි නමුත් ආසන රැසක් එකවර වෙන්කරවා ගැනීම් සඳහා සීමා නොමැතිවීම හමුවේ ද්විතීයික වෙළෙඳපොළක් නිර්මාණය වීමට හේතු වී ඇත.

ඇතැමුන් අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර 100කට අධික සංඛ්‍යාවක් මිල දී ගෙන ඒවා ඉතා ඉහළ මිලකට නැවත අලෙවි කරන බවත්, ඒ සඳහා කිසිදු නියාමනයක්, මිල පාලනයක් සහ මිලදී ගැනීම් සඳහා සීමාවක් නොමැති බවත් නගරාධිපතිවරයා සඳහන් කරයි.

මහනුවර නගරයේ විවිධ වාණිජ අවකාශයන් පෙරහැර සමයට පෙර මිලියන 1 සිට රුපියල් මිලියන 5, දක්වා බදු දී ඇති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

පසුව පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් ප්‍රවේශපත්‍ර ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට ඒවා භාවිත කරන බවත්, ඉන් හිමිවන ආදායම පසුව තැරැව්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදීයන බවත් ඔහු පැවසුවේය.

එමෙන්ම නගරාධිපතිවරයා පෙන්වාදෙන්නේ, මෙය දැන් ආසන මාෆියාවක් බවට පත්ව ඇති බවයි.

පුද්ගලයන් කිහිපදෙනකු දිනපතා මෙම කටයුත්ත හසුරුවන අතර, පූජනීය සංස්කෘතික උත්සවය ඔවුන්ගේ ලාභ සඳහා ගසාකන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.