July 19, 2025

නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ සැරිසැරූ ගෝනකු වෙඩිතබා ඝාතනය කර ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ යකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනා තම ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් නුවරඑළිය වෙත පැමිණ, නුවරඑළිය සීතාඑළිය අම්මන් කෝවිල අසළ රක්ෂිතයේ දී බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියකින්, රක්ෂිතයේ සැරිසරමින් සිටි හොඳින් වැඩුණු ගෝනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අනතුරුව සත්වයාගේ සිරුර ප්‍රාඩෝ ජීප් රථයෙන් සඟවාගෙන දංකොටුව දක්වා ආපසු රැගෙන යමින් සිටියදී ජීප් රථය පිළිබඳ සැක සිතූ නුවරඑළිය රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 09ක්, ඊයම් බෝල කුඩා 165, ඊයම් බෝල තරමක් ලොකු 09, ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථ යක්, දඩයම් කරන ලද ගෝනකු සොයා ගැනීමට සමත්වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ගෝනුන් වෙඩිතබා ඝාතනය කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බව නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් පවසයි.