July 14, 2026

ශ්‍රී ලංකා පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනීසිටිමින්, වසර තුනක කාලයක් තිස්සේ පොලිස් වසම් 15ක් පුරා රුපියල් මිලියන ගණනක රන් ආභරණ, මුදල් සහ වෙනත් වටිනා දේපළ කොල්ලකෑ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකරුවන් තිදෙනා ලබන ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

වයස අවුරුදු 40, 44 සහ 45 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය හඳුනාගෙන තිබේ.

සැකකරුවන් විවිධ ප්‍රදේශවල සංචාරය කරමින්, තනිව ගමන් ගන්නා පුද්ගලයන් සහ වාහන නතර කර, තමන් පොලිස් හෝ CID නිලධාරීන් බව පවසමින් විවිධ චෝදනා එල්ල කරමින් ව්‍යාජ පරීක්ෂාවන් සිදුකර රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා ඇත.

එක් අවස්ථාවකදී, උසස් නිලධාරියෙකුගේ නියෝගයක් මත ඔවුන්ව පොලිසියට රැගෙන යන බව පවසා කෑගල්ල පොලිස් ස්ථානය අසලටම කැඳවාගෙන ගොස්, එහිදී ඔවුන් සතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පළාගොස් තිබේ.

එසේම ඔවුන් විසින් සෝදිසි මෙහෙයුම් සිදුකරන මුවාවෙන් නිවාසවලට ඇතුළු වී, එහි සිටි පිරිස් එකම ස්ථානයක සිරකර තබා මුදල් සහ වටිනා දෑ සොරකම් කර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව මොවුන් 2023 වසරේ සිට පේරාදෙණිය, මහනුවර, කොම්පඤ්ඤවීදිය, ග්‍රෑන්ඩ්පාස්, මාවනැල්ල, නාරම්මල, පිළිමතලාව, දවුලගල, ගම්පොල, ගලහ, කෑගල්ල සහ කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙවැනි කොල්ලකෑම් සිදුකර තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ සිදුවූ මෙවැනිම කොල්ලකෑමකින් පසු ලද බුද්ධි තොරතුරු මත එක් සැකකරුවෙකු පේරාදෙණියේදී ද, අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිමතලාවේදී ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවන් වන අතර, කොල්ලකන ලද මුදල් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති බව හෙළි වී තිබේ.

කොල්ලකන ලද රන් භාණ්ඩ උණුකර විවිධ නගරවලට විකුණා ඇති අතර, එලෙස විකුණන ලද රන් භාණ්ඩ තොගයක් මහනුවර ප්‍රදේශයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ත්‍රිරෝද රථයක්, පිහියක්, මත්පෙති සහ උණුකරන ලද රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබේ.