July 21, 2026

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී, දුරදක්නයක් යොදාගනිමින් ඇයව නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

එහිදී කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරුවන් තිදෙනා හෙට (22) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් වන සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු සහෝදරයන් වන අතර ඔවුන් කින්නියා සහ මොල්ලිපතාන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව සැකකරුවන් විසින් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.