March 22, 2024

සීආර් පොත් තුනක් නැතිකම නිසා සතියක් මුළුල්ලේ පාසල් නොයන දරුවකු ඇතුළු දරුවන් තිදෙනෙක් තන්තිරිමලේ කටුකැලියාව ගමෙන් වාර්තා වෙයි.

දරුවන්ගේ පියා අක්මාවේ සැත්කමක් නිසා වසර දෙක තුනක සිට රෝගාතුරව සිටින බව ඔහුගේ බිරිද වන ජේ. පුදීපා ජයලත් කුමාරි (30) පවසයි.

මට දරුවන් හතරදෙනෙක් ඉන්නවා. දරුවන් තුන්දෙනෙක් පාසල් යනවා. වැඩිමල් දරුවා ගියේ ඇලයාපත්තුව මහා විද්‍යාලයට. පාසල් යවන්න බස් වියදම දරාගන්න බැරි නිසා තම්බියාවේ ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කළා. එයා ශිෂ්‍යත්වයත් හොඳට පාස්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කරලා, දැනට සතියක් විතර වෙනවා.

ඒ දරුවාට සීආර් පොත් තුනක් ඕන. අරන් දෙන්න විදිහක් නෑ. ඊයේ රෑට පලා කොළ ටිකක් මලවලා, අල හොද්දක් හදලා දරුවන්ට කන්න දුන්නේ. අද උදේට සම්බෝලයි බතුයි. දවල්ට ඉතින් මොකවත්ම නැහැ. පොඩි දරුවන් තුන්දෙනා ඉස්කෝලේ යැව්වේ නැත්තේ ගොඩක් අඩුපාඩුකම් තියෙන නිසයි. මෙම සිද්ධිය පිළිබඳව ග්‍රාම නිලධාරිනී කේ.බී.එස්.බී. මැණිකේගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ එම පවුල ‘අස්වැසුම’ සහනාධාරය ලබාගැනීමට ඉල්ලුම්පත්‍රයක් කාර්යාලයට මෙතෙක් බාරදී නැති බවයි.(ලංකාදීප)