June 11, 2026

ඕමාන් වෙරළට ඔබ්බෙන් පිහිටි ෂහීඩ් වරාය අසලදී ඉන්දීය කාර්ය මණ්ඩලයක් සහිත තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දීය නාවිකයින්ගේ සංගමයට අනුව MT Jalveer නමැති මෙම නෞකාවේ සේවකයින් 20 දෙනකු සිට ඇත.

ඕමාන් මුහුදු සීමාව ආසන්නයේදී ඉන්දීය කාර්ය මණ්ඩලයක් සහිත නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ මෙම සතියේ තෙවැනි අවස්ථාව මෙයයි.

ඕමාන්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ද මෙම සිදුවීම තහවුරු කර තිබේ.

ඔවුන් ප්‍රකාශ කළේ, තත්ත්වය පිළිබඳව සමීපව විමසිලිමත් වන අතර වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි.

“ඕමාන්හි ෂිනාස් වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අද මුල්භාගයේදී නෞකාවක් සම්බන්ධයෙන් සිදු වූ අනතුරක් ගැන අපට වාර්තා වුණා. අපි මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර ප්‍රාදේශීය බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනවා,” යනුවෙන් තානාපති කාර්යාලය ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේය.

ඉරානයේ Mehr පුවත් ඒජන්සියට අනුව, නෞකාවේ සිටි සේවකයින් 20 දෙනාගෙන් පස්දෙනකු එම අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ වෙනත් යාත්‍රා මගින් බේරාගෙන ඕමාන් වෙත රැගෙන ගොස් ඇත.

මෑත දිනවල ඕමාන් අසලදී ප්‍රහාරයට ලක් වූ ඉන්දීය සේවකයන් සහිත තෙවැනි නෞකාව මෙය වන අතර, මීට පෙර පලාවු රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළ Settebello නමැති තෙල් නැවට ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පසු එහි සිටි ඉන්දීය නාවිකයින් තිදෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා විය.

ඉරානයට පනවා ඇති සම්බාධක කඩකිරීමට උත්සාහ කළ නිසා එම තෙල් නැවට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව පසුගිය සඳුදා, හෝමූස් සමුද්‍ර සන්ධියට දකුණු දෙසින් ගමන් කරමින් තිබූ MT Marivex නමැති නෞකාවට ද ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි සිටි ඉන්දීය නාවිකයින් 24 දෙනකුගේ ජීවිත අනතුරේ හෙළමින් නැව තුළ විශාල ගින්නක් හටගත්තේය.

පසුගිය පෙබරවාරි අගභාගයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ආරම්භ වූ මැදපෙරදිග යුද්ධය හේතුවෙන්, ලෝකයේ ප්‍රධානතම ඉන්ධන සැපයුම් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇත.

පසුගිය සති කිහිපය තුළ පැවති තාවකාලික සටන් විරාම සාකච්ඡාවලදී ද මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීම සඳහා එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයම අසමත් විය.

යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය මෙම නාවික මාර්ගය අවහිර කර ඇති අතර, පසුගිය අප්‍රේල් මාර්ගයේ සිට ඇමෙරිකාව ද ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ගේම නාවික සම්බාධක පැනවීමක් සිදුකරමින් පවතී.