May 13, 2025

ඉකුත් දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ජාතික ජනබලවේගය වෙත චෝදනා එල්ල කරයි.

ඒ අනුව සමගි ජනබලවේගය පවසන්නේ ජාතික ජන බලවේගය මැතිවරණ පූර්ව ප්‍රකාශවලට හාත්පසින්ම වෙනස්ව, තමන්ට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල පරිපාලනය පිහිටුවීම සඳහා වෙනත් පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට සැකසහිත ක්‍රම භාවිත කර ඇති බවයි.

එබැවින් කිසිඳු පක්ෂයකට බහුතරයක් නොමැති තත්ත්වයන් යටතේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ උත්සාහයක දී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ කණ්ඩායම් අතර මේ වනවිට පවතින්නේ දැඩි මතභේදාත්මක තත්වයකි.

කොළඹ මහනගර සභාව ඇතුළුව පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවක විරුද්ධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජාතික ජනබලවේගයට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන ඇත.

එවැනි තත්ත්වයන් තුළ පළාත් පාලන ආයතන ප්‍රධානියා ලෙස නගරාධිපති හෝ සභාපතිවරයා පත්කළ යුතු වන්නේ බහුතර අනුමැතිය ඇතිව රහස් ඡන්දයකින් ය.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව, බහුතර සහයෝගය නොලැබෙන ස්ථානවල පරිපාලනය පිහිටුවීම සඳහා අවශ්‍ය සංඛ්‍යාව ලබා ගැනීම වෙනුවෙන් විවිධ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල සහය ලබාගැනීමට ජාතික ජනබලවේගය උත්සාහ කරමින් සිටියි.

සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වාදෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විවිධ පක්ෂ හරහා ලැබෙන වාසි සහගත දීමනා පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.

දූෂිත දේශපාලනය සම්බන්ධයෙන් අනෙක් පක්ෂවලට චෝදනා එල්ල කළ ජාතික ජනබලවේගය, මේවනවිට සිදුකරමින් පවතින්නේ ද එවැනි ක්‍රියා බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

මේ අතර සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේගය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති සාමාජිකයන්ට රුපියල් මිලියන 2.5 බැගින් ඉහළ මුදලක් ලබාදීමේ සූදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබුණු බවයි.

කෙසේවෙතත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, තම පක්ෂය වංචනික දේශපාලන සංස්කෘතිය අනුමත නොකරන බවයි.

රජයේ ප්‍රගතිශීලී සංවර්ධන න්‍යායපත්‍රය සමඟ ඉදිරියට යෑමට උනන්දු වන අනෙකුත් පක්ෂවල සහ කණ්ඩායම්වල සාමාජිකයින්ගේ සහාය පමණක් ලබාගන්නා බව ද ඔහු පැවසුවේය.