November 18, 2026

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ කැබිතිගොල්ලෑව, යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කෙරිණි.

වාහල්කඩ, ඉස්සන්වැව, පුංචිමුදාගම, ගල්කඩවල සහ යාං ඔය අලුත් පාර ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සහ යුද හමුදාපතිතුමාගේ සුවිශේෂී සහයෝගය හා දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව, 21 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමින්ද සිල්වාගේ සහ 211 වැනි පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් වික්‍රමාරච්චිගේ අධීක්ෂණය යටතේ, 5 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් චමිල බණ්ඩාරගේ සහ 9 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් හර්ෂ ජයසිංහගේ මෙහෙයවීමෙන් හා සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීහු 11 දෙනකු සහ සෙසු නිලයන් 60 දෙනකු ඇතුළුව 71 දෙනෙක්ගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර ඇතුළු මැදවච්චිය අඩවි ආරක්ෂක වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරු 03 දෙනකු, අඩවි සහකාරවරු 05 දෙනකු, වනජීවී නියාමකවරු 13 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 04 දෙනකු ද මෙම මෙහෙයුමට එක්ව සිටියහ.