March 21, 2025

තිස්සමහරාම සිට ලුණගම්වෙහෙර දෙසට ධාවනය කරන ලද වෑන් රථයක් එහි රියැදුරුට පාලනය කරගත නොහැකිව පන්නගමුව පොළ අසල දී මාර්ගයෙන් ඉවතට පැන 19 වැනිදා පස්වරුවෙහි සිදුවූ මාරක රිය අනතුරකින් විභාග මධ්‍යස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කළ විදුහල්පතිවරයකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහරාම පන්නගමුව රාජකීය විද්‍යාලයේ අපොස (සා.පෙ) විභාග මධ්‍යස්ථානය භාරව කටයුතු කළ විදුහල්පතිවරයා වූ රුවන් පතිරණගේ පියසේන යන අයයි.

ඔහු සූරියවැව වීරියගම විද්‍යාලයේ විදුහල්පතිවරයාය.

මියගිය විදුහල්පතිවරයා සූරියවැව විහාරගල යාය 01, අංක 1108 යන ස්ථානයේ පදිංචිව සිටි අයෙකි.

ඔහු පාගමනින් යන විට මෙම අනතුරට මුහුණපා ඇත.

මෙම රියඅනතුරින් ඒ ආසන්නයේ නවතා තිබූ තවත් වාහන දෙකකට ද බරපතළ හානි සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු වන දේවාගහවත්ත, මාගම්මන, දෙහිඕවිට ලිපිනයේ පදිංචි සිවකුමාර් ඥාන පියල් නමැති 25 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මියගිය අයගේ මළසිරුර තිස්සමහරාම මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

තිස්සමහරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.