July 6, 2026

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මඟින් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හඳුනාගෙන ඇති අඩුපාඩු එලෙසම රඳවාගෙන ඇතිවා පමණක් නොව, එය තවදුරටත් පුළුල් කරමින් නව අවදානම් සහ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) රජයට දැනුම් දී තිබේ.

මීට පෙර රජය වෙත ඉදිරිපත් කරන ලද අදහස්වලට අනුව, OHCHR ආයතනය පෙන්වා දෙන්නේ, අදාළ කෙටුම්පතේ අඩංගු අපැහැදිලි සහ පුළුල් නිර්වචන හේතුවෙන් අනවශ්‍ය ලෙස වරදකරුවන් කිරීම් සිදු විය හැකි බවයි.

එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, සංගම් පැවැත්වීමේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස මර්දනය වීම තුළින් සිවිල් ක්‍රියාකාරීත්වයට ඇති අවකාශය දැඩි ලෙස සීමා වනු ඇතැයිද ඔවුහු කනස්සල්ල පළකරති.

සීමිත අධීක්ෂණයකින් යුත් පුළුල් විධායක බලතල, ඵලදායී අධිකරණ සමාලෝචනයකින් තොරව සිදුකෙරෙන අභිමතය පරිදි අත්අඩංගුවට ගැනීම් සහ දීර්ඝකාලීන රැඳවුම් භාරයේ තැබීම්, වධහිංසා, අමානුෂික සැලකීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වීමේ ප්‍රවණතාව මෙන්ම සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය ප්‍රමාණවත් නොවීම පිළිබඳවද එහිදී කරුණු පෙන්වා දී ඇත.

කෙසේවෙතත්, විවිධ පාර්ශ්වයන් විසින් මතුකරන ලද කනස්සල්ල සැලකිල්ලට ගනිමින් රජය මේ වන විට ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ නැවත කෙටුම්පත් කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීතිමය රාමුව නීත්‍යානුකූලභාවය, අත්‍යවශ්‍යතාව සහ සමානුපාතිකත්වය යන අන්තර්ජාතික නීති මූලධර්මයන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා සහ අභිමතය පරිදි රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා පනත් කෙටුම්පතෙහි සැලකිය යුතු සංශෝධන සිදු කළ යුතු බව OHCHR ආයතනය පෙන්වාදෙයි.

මහකොමසාරිස්වරයා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් නිර්දේශ කර ඇති පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර්ජාතික මානව හිමිකම් සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල වන නව නීති පැනවීමට රජය දක්වන අභිලාෂය OHCHR අගය කරයි.

නව කෙටුම්පත තුළ පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් කිරීම වැනි යම් යම් ප්‍රගතිශීලී පියවර ඇතුළත් වුවද, අන්තර්ජාතික මානව හිමිකම් නීතිය යටතේ මෙරට සතු බැඳීම්වලට සහ දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහතිකයන්ට පටහැනි බහුවිධ ප්‍රතිපාදන තවදුරටත් එහි අඩංගු වන බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව ඔවුහු පවසති.

එබැවින්, දැනට පවතින කෙටුම්පත සැලකිය යුතු ලෙස ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, යෝජිත නීතිය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන පරිදි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරී දෝෂ නැවත ඇති නොවන පරිදි සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අවංක සහ සියල්ලන් ඇතුළත් කරගත් උපදේශන ක්‍රියාවලියක නිරත වන ලෙසත් OHCHR ආයතනය රජයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීමද OHCHR ආයතනය මෙහිදී නැවතත් අවධාරණය කර ඇත.

OHCHR ආයතනයට අනුව, පනත් කෙටුම්පත මඟින් ‘ත්‍රස්තවාදය’ හෝ ‘ත්‍රස්තවාදී ක්‍රියා’ යන්නෙහි නිර්වචනය ප්‍රමාණවත් පරිදි පටු කිරීමට අපොහොසත් වී තිබේ.

ඒ වෙනුවට, කෙටුම්පතේ 3 වැනි වගන්තිය මඟින් ත්‍රස්තවාදය සඳහා පුළුල් පරාසයක විකල්ප චේතනාවන් සහ හැසිරීම් අවශ්‍යතා ඉදිරිපත් කර ඇති අතර, ඉන් බොහොමයක් ආරක්ෂක මණ්ඩලයේ 1566 (2004) යෝජනාව, ත්‍රස්ත විරෝධී සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් නිර්දේශ කරන ලද ත්‍රස්තවාදය පිළිබඳ ආදර්ශ නිර්වචනය සහ දේශීය අපරාධ නීති සම්පාදනයේදී ත්‍රස්තවාදය නිර්වචනය කිරීම පිළිබඳ OHCHR මාර්ගෝපදේශ සටහන ඉක්මවා යන පුළුල් සහ අපැහැදිලි නිර්ණායක මත පදනම් වී ඇත.

යෝජිත ත්‍රස්තවාදී නිර්වචනයට අන්තර්ජාතික ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ ඉක්මවා යන පුළුල් අරමුණු සහගත අංගයක්ද ඇතුළත් කර තිබේ.

OHCHR පවසන පරිදි, මෙම අන්තර්ජාතික ප්‍රමිතීන් මඟින් ත්‍රස්තවාදී අපරාධය සීමා කර ඇත්තේ මරණය, බරපතළ ශාරීරික තුවාල හෝ ප්‍රාණ ඇපයට ගැනීම් වැනි බරපතළ ප්‍රතිඵල ගෙන දෙන, මහජනතාව අතර භීෂණයක් ඇති කිරීමේ හෝ රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ එයින් වැළකී සිටීමට බලකිරීමේ අරමුණින් සිදු කරනු ලබන චේතනාන්විත ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට පමණි.