May 27, 2026

ඉබෝලා වෛරසය වැළඳී ඇති බවට සැකපිට ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික නගරයේදී නිරෝධායනයට ලක් කෙරුණු උගන්ඩා ජාතික කාන්තාවට එම වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, ඇයව මෙලෙස හුදෙකලා කර තැබීමෙන් නිදහස් කරන්නේ කවදාද යන්න පිළිබඳ අමාත්‍යාංශය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ද වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතිකව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගයට මුහුණ දීම සඳහා වන සූදානම සමාලෝචනය කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වා දිනකට පසුව මෙම සහනදායී පුවත වාර්තා වී තිබේ.

“බැංගලෝර් නගරයෙන් වාර්තා වූ සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව ඉබෝලා වෛරස් රෝගය සඳහා සෘණාත්මක වී ඇත,” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම රෝගී අවස්ථාව ස්ථිර වූයේ නම්, එය 2014 වසරෙන් පසු එරටින් වාර්තා වන පළමු ඉබෝලා රෝගියා වීමට ඉඩ තිබිණි.

ඇයව රඳවා තබාගෙන සිටි රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අනිල් කුමාර් බනගාර් පැවසුවේ, 28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාව රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළ අතර පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස ඇයව නිරෝධායනය කළ බවයි.

ඇය නැගෙනහිර අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ සිට සිය සංචාරය ආරම්භ කර, ඉන්දියාවේ අහමදාබාද් වෙත පැමිණ, පසුව එතැනින් බැංගලෝර් වෙත ළඟා වී තිබිණි.