June 19, 2026

වසර 42කට අධික කාලයක් තිස්සේ පවතින ජල කාන්දුවීම් ස්ථිර ලෙස නතර කිරීම සඳහා ඓතිහාසික කලා වැව ප්‍රතිසංස්කරණය කිරීමේ දිගුකාලීන ප්‍රමාද වූ ව්‍යාපෘතිය පසුගිය ජුනි 16 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා කටයුතුවලට කිසිදු බාධාවක් හෝ ආරක්ෂක අවදානමක් ඇති නොවන බව බලධාරීහු සහතික වෙති.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහද සහභාගී විය.

මහවැලි ‘H’ කලාපයේ වගාබිම් හෙක්ටයාර 25,000කට පමණ වාරි ජලය සපයන කලා වැවේ, වාන් දොරටු රහිත පිටවානේ පවතින දැඩි ජල කාන්දුවීම් සඳහා ස්ථිර තාක්ෂණික විසඳුමක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

රජයේ සෘජු තීරණයක් අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීම යටතේ ලෝක බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වේ.

මහවැලි අධිකාරියේ අධීක්ෂණය යටතේ, ඒකාබද්ධ ජල ඵලදායිතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය හරහා ‘රැනික් ඉන්ටර්නැෂනල්’ පෞද්ගලික සමාගම විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

වසර 42කට පසු සිදු කෙරෙන මෙම ප්‍රධාන පෙළේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුළු ආයෝජනය රුපියල් මිලියන 75කට වඩා වැඩි වෙයි.

මෙහිදී සභාව ඇමතූ අමාත්‍ය රණසිංහ මහතා, දිගුකාලීන ජල කාන්දුවීම් හේතුවෙන් කලා වැව කඩා වැටීමේ අවදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කළේය. වැවේ ව්‍යුහාත්මක ආරක්ෂාව උපරිම මට්ටමක පවතින බවත්, පිටවාන කඩා බිඳ දැමීමකින් තොරව උසස් ඉංජිනේරු ශිල්පීය ක්‍රම භාවිතයෙන් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන බවත් ඔහු පැවසීය.

ඉදිකිරීම් කටයුතු අතරතුර වැවේ ජල මට්ටම පහත හෙළීමක් සිදු නොකරන බැවින් යල කන්නයේ වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන බවට ද අමාත්‍යවරයා සහතික විය.

එමෙන්ම, ජල කාන්දුවීම් සීල් තැබීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය වැව් ජලයට මිශ්‍ර නොවන බව ඉංජිනේරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් තහවුරු කර ඇති බැවින්, පානීය ජල සැපයුමට හෝ කෘෂිකාර්මික කටයුතුවලට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පදනම් විරහිත කටකතාවලට නොරැවටෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, පවතින තත්ත්වය පිළිබඳව නිවැරදිව හා වගකීමෙන් යුතුව වාර්තා කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලා සිටියේය.

මේ අතර, කලා වැව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරවා ගැනීම සඳහා ද ඉදිරියේදී කටයුතු කරන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් මෙහිදී පැවසීය.

මෙම සමාරම්භක උත්සවයට වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසී මහජනතාව ද විශාල පිරිසක් එක්ව සිටියහ.