October 27, 2026

රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 275 ක මුදල නොගෙවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව ගොනුකළ අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමෙන් අනතුරුව, අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටියි.

ඊයේ පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, ඖෂධ ප්‍රසම්පාදන නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සලකා බලමින්, අධිකරණ නියෝගය හිතාමතා පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ඔක්තෝබර් 12 වැනිදා එම ආයතනය මෙම අපහාස කිරීමේ පෙත්සම ගොනු කළ බවයි.

මෙම නෛතික ක්‍රියාමාර්ගයට පදනම් වී ඇත්තේ 2026 මාර්තු 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකි. අදාළ වගඋත්තරකරුවන් පස්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය හමුවේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව එහිදී තීන්දු විය. ඒ අනුව, කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75 ක් ද, අනෙක් වගඋත්තරකරුවන් සිව්දෙනාට රුපියල් මිලියන 50 බැගින් ද රජයට ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේවෙතත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස් ඩී ජයරත්න ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව, ඔක්තෝබර් 22 වැනිදා තමන්ට නියම කළ රුපියල් මිලියන 50 ක මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළ බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔක්තෝබර් 23 වැනිදා රුපියල් මිලියන 20 ක් ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 55 ක මුදල සති දෙකක් ඇතුළත ගෙවා නිම කිරීමට අධිකරණය හමුවේ පොරොන්දු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ජේ එස්. චන්ද්‍රගුප්ත සතියක් ඇතුළත රුපියල් මිලියන 5 ක් ද, ඉතිරි රුපියල් මිලියන 45 මාස තුනක් ඇතුළත ද ගෙවීමට එකඟ විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සති දෙකක් ඇතුළත රුපියල් මිලියන 20 ක් ද, ඉතිරි රුපියල් මිලියන 30 මාස තුනක් ඇතුළත ද ගෙවීමට එකඟතාව පළ කළේය.

වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඒ තුසිත සුදර්ශන තමන්ගේ ඉතිරිකිරීම්වලින් රුපියල් මිලියන 2 කට ආසන්න මුදලක් සතිය ඇතුළත ගෙවීමටත්, ඉතිරි රුපියල් මිලියන 48 මාස තුනක් ඇතුළත ගෙවා නිම කිරීමටත් පොරොන්දු විය.

ඒ අනුව, හිඟ මුදල් මාස තුනක් ඇතුළත ගෙවා නිම කරන ලෙස අදාළ වගඋත්තරකරුවන් හතරදෙනාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන්ට විදේශගමන් තහනම් පැනවූ අතර එක් අයෙකුට රුපියල් මිලියන 50 ක මුදල් ඇපයක් සහ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වූ කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත වගවීමට අත්‍යවශ්‍ය සාධකයක් බවත්, පෙත්සම්කරුවන් නැවත නැවතත් අධිකරණය හමුවට යාම මත පමණක් අධිකරණ නියෝග ක්‍රියාත්මක වීම සිදු නොවිය යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

දූෂණය සහ වංචාවන්හි නිරතවීම නිසා දීර්ඝකාලීන නෛතික ප්‍රතිවිපාක මෙන්ම කීර්තිනාමයට ද හානි සිදුවන බවට අනතුරු ඇඟවූ එම සංවිධානය, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිරීක්ෂණය කරමින් වගවීම තහවුරු කිරීමට තමන් බැඳී සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නඩුව නැවත 2027 පෙබරවාරි 15 වැනිදා කැඳවීමට නියමිතය.