November 8, 2023

විධායකය විසින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අසුන් ගැන්වීමට සැලැස්වූ ආකාරයෙන්ම රටේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කෙරෙහිද තම ‘කට වහගෙන බලන් ඉන්න’ ආකල්පය යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් චෝදනා කරයි.

කොළඹ ඊයේ (7) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වත්මන් පොලිස්පතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණයට එරහිව යමින් ඔහු යළිත් පත්කිරීම, තම වැඩකටයුතුවලට බාධා නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවට වක්‍රව දන්වා සිටීමේ ආසන්නතම උදාහරණය බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙන්වාදෙයි.

රටේ අධිකරණය ලබා දෙන තීන්දු හෙළාදකිමින් ජනාධිපතිවරයා රටට ලබා දෙන්නේ ඉතා නරක ආදර්ශයක් බවත්, එය සංවරණ සහ තුලනය ක්‍රමය අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුගේ ගුණාංගයක් නොවන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.

“අපි දැක්කා වික්‍රමසිංහ ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරනකොට කට වහගෙන වාඩි වෙන්න කියනවා. වර්තමානයේ, ඔහු එම න්‍යාය බොහෝ විට – ඔහුගේ හැසිරීම අනුමත නොකරන සෑම කෙනෙකුට සමඟම අදාළ කරන බවයි අපට පෙනෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවට කට වහන්න, අධිකරණයට කට වහන්න කියනවා,” යැයි ඔහු පැවසීය.

රට ක්‍රමයෙන් අත්තනෝමතික පාලනයක් කරා පිය නගමින් සිටින බවත්, එහි ප්‍රතිවිපාක චීනය, උතුරු කොරියාව සහ ඊජිප්තුව වැනි රටවලට බොහෝ සෙයින් සමාන වනු ඇති බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් පැවසීය.

එබැවින්, භාෂණයේ නිදහසේ ඇති වටිනාකම මූලික අයිතිවාසිකමක් ලෙස මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ඔහු පෙන්වාදුන්නේ, එසේ නොවුවහොත්, නොදැනුවත්කම මතින් පාලක පැලැන්තියට ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ සලසන බව සඳහන් කරමින්.