October 16, 2025

බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව(BMICH) වෙත සුවිශේෂී ප්‍රභූන් නිතර නිතර පැමිණීම සහ එම ස්ථානයේ පොලිසිය පවත්වා ගැනීමේ තීරණාත්මක වැදගත්කම නොතකා, පොලිසිය හදිසියේම සහ වගකීම් විරහිතව එම පරිශ්‍රයෙන් ආරක්ෂක කටයුතු ඉවත් කර ගත් බව එම සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරිය ප්‍රකාශ කළේය.

හදිසි ඉවත් කිරීම සිදු වූයේ කිසිදු පූර්ව සාකච්ඡාවක්, නිසි දැනුම්දීමක් හෝ විකල්ප විධිවිධානයකින් තොරව බවත්, ආරක්ෂාව හැසිරවීම සඳහා තමන්ගේම කාර්ය මණ්ඩලය හදිසියේ යෙදවීම හැර වෙනත් විකල්පයක් කළමනාකාරිත්වයට නොමැති බවත් BMICH සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

“BMICH හි ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය අපෙන් මසකට රුපියල් මිලියන 3.6ක් ඉල්ලා සිටියා. අපි වසර 30ක් පමණ තිස්සේ ඔවුන්ගෙන් රුපියලක්වත් අය නොකර නවාතැන් සහ අනෙකුත් පහසුකම් ලබා දී තිබෙනවා. අපි ඔවුන්ගේ විදුලි හා ජල බිල්පත් පවා ගෙවනවා. අපි තවමත් මේ කාරණය සළකා බලමින් සිටියදී, ඔවුන් පැය දෙකක් ඇතුළත ඔවුන්ගේ සියලුම නිලධාරීන් සහ උපකරණ හදිසියේම ඉවත් කර ගත්තා,” යැයි ඇය පැහැදිලි කළාය.

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය අතරතුර ඉවත් කිරීම සිදු වූ බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

“එදා ජනාධිපතිතුමා පොත් ප්‍රදර්ශනයට ගියා. ආරක්ෂාව සහතික කිරීම සඳහා පුහුණුව ලත් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා, ඒ වගේම එහි සිටි සහකාර පොලිස් අධිකාරීවරයෙක් ගිහින් BMICH එකේ සියලුම ගේට්ටු වැහුවා. සෑම ඇතුල්වීමකම වාහනවල දිගු පෝලිම් තිබුණා; අපේ කෑම බීම ගෙන එන වාහන, සියල්ල හිරවෙලා. ගේට්ටු මීට පෙර කවදාවත් ඒ වගේ වැහිලා නැහැ.” යනුවෙන් ඇය සඳහන් කළාය.

කළමනාකාරිත්වය ගේට්ටු විවෘත කරන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළත්, ජනාධිපතිවරයාගේ පැමිණීම උපුටා දක්වමින් පොලිසිය එය ප්‍රතික්ෂේප කළ බව කුමාරතුංග වැඩිදුරටත් පැවසුවාය.

“මම මීට පෙර ජනාධිපතිවරයකු ලෙසත් එහි ගොස් තිබෙනවා, නමුත් කවදාවත් ගේට්ටු එලෙස වසා තිබුණේ නැහැ. ආරක්ෂාව සපයන්නේ කෙසේදැයි පොලිසිය දැන සිටිය යුතුයි. ඊට පස්සේ මම දන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කතා කළා, ඔහු කිව්වා ඔවුන් (පොලිසිය) එහෙම නොකළ යුතු බව. අවසානයේ ගේට්ටු නැවත විවෘත කළා,” ඇය පැවසුවාය.

සිද්ධිය වන අවස්ථාවේ පොලිසිය ඉල්ලූ ගෙවීමට එකඟ වෙනවාද නැද්ද යන්න තීරණයක් ගෙන නොතිබූ බව ඇය පැවසුවාය.

“මේ කාරණය ගැන අප සමඟ සාකච්ඡා නොකර හෝ තීරණයක් ගැනීමට කාලය ලබා නොදී මේ ආකාරයට පිටව යෑම සම්පූර්ණයෙන්ම වැරදියි. පොලිසිය ඉවත් වීමෙන් පසු, ආරක්ෂාව හැසිරවීම සඳහා අපි අපේම කාර්ය මණ්ඩලය යොදවා තිබෙනවා. දැන් පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඉන්නවා, නමුත් සියලු ආරක්ෂාව අපගේ කාර්ය මණ්ඩලය විසින් හසුරුවනවා. බොහෝ වැදගත් පුද්ගලයන් නිතිපතා මෙහි පැමිණෙනවා, ඒ නිසා පොලිසිය එතරම් වගකීම් විරහිතව පිටව නොයා යුතුව තිබුණා.” යනුවෙන් ඇය සඳහන් කළාය.

ඔක්තෝබර් 3 වැනිදා BMICH පොලිස් මුරපොළ තාවකාලිකව වසා දැමීමෙන් පසුව, සියලුම නිලධාරීන්ට ආයුධ, පතොරම් සහ වාර්තා ඇතුළුව ඔවුන්ගේ දේපළ ඉවත් කර බොරැල්ල පොලිස් ස්ථානයට මාරු කරන ලෙස නිල නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව කුමාරතුංගගේ අදහස් දැක්වීම සිදු විය.

දිනකට පසු අඩු නිලධාරීන් සංඛ්‍යාවක් සමඟ මෙම මුරපොළ නැවත ස්ථාපිත කරන ලද බව වාර්තා විය.

මුලින් ‘සී’ පන්තියේ පොලිස් ස්ථානයක් වූ BMICH පොලිස් මුරපොළ 2017 දී ‘බී’ පන්තියේ පොලිස් ස්ථානයක් දක්වා උසස් කරන ලදී.

කොළඹ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණය බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ කළමනාකරණ මණ්ඩලය විසින් නඩත්තු කරනු ලැබේ.