August 31, 2023

තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්‍ෂාව සපයා ඇති ඇතැම් පුද්ගලයන් තමන් ඉතා වැදගත් පුද්ගලයන් (VIP) ලෙස පෙන්වීමට ආරක්‍ෂක හා පොලිස් නිලධාරීන් අවභාවිත කරන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

එවැනි අනවශ්‍ය හැසිරීම්, තර්ජනයක් ඇති පුද්ගලයාට මෙන්ම ඔහුගේ/ඇයගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට ද හානිදායක විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

එවැනි හැසිරීම් ප්‍රදර්ශනය කරන බවට වාර්තා වූ පුද්ගලයන්ට එසේ නොහැසිරෙන ලෙසට පොලිසිය අවවාද කර ඇති බවත්, ඔවුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලෙස, යොදවා ඇති නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත්, ඔහු සඳහන් කර ඇත.

ඔවුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ පියවරයන් පොලිසිය විසින් මෙලෙස පැහැදිලි කරනු ලබයි.

ප්‍රභූ හෝ VVIP ලෙස නොසළකන පුද්ගලයන්, එවැනි තර්ජනයක් ඇති බවට පොලිසියට දන්වා ඇත්නම් පොලිසිය විසින් පවත්වනු ලබන ආරක්‍ෂක තක්සේරුවකින් පසුව ඔවුන්ට ආරක්‍ෂාව ලබා දේ.

තක්සේරුවෙන් පසු, තර්ජන මට්ටම හඳුනා ගෙන, ඒ අනුව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කරන අතර, යමෙක්ට මරණ තර්ජන ඇති බවට හඳුනාගෙන තිබේ නම්, ඔහුගේ/ඇයගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවයි.

එසේ නොමැති නම්, යමකුට සුළු ආරක්ෂක තර්ජනයක් තිබේ නම්, පොලිස් නිලධාරීන්ට අවධානයෙන් සිටින ලෙසට දන්වනු ලබයි.

ඇතැම් අවස්ථාවලදී ස්ථිර වශයෙන් අනුයුක්ත පොලිස් නිලධාරීන් සමඟ සිටින පුද්ගලයන් තමන්ට ලැබී ඇති ආරක්ෂාව අවභාවිත කරමින් ප්‍රභූවරුන් ලෙස පෙනීසිටීමේ අරමුණින් නොසැලකිළිමත් ලෙස හැසිරෙන බව පොලිසිය පවසයි.

ඇතැම්හු ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වන ලෙස ඉල්ලා සිටින විට වුවද එම පොලිස් නිලධාරීන් සමඟ සාදවලට සහ සාප්පුවලට සහභාගි වෙති.

ඔවුන්ගේ එම අසාමාන්‍ය හැසිරීම සෑම කෙනෙක්ටම පෙනෙන අතර ඇතැම් විට ඔවුන්ට තවත් තර්ජන එල්ල විය හැකිය.

එමෙන්ම නිලධාරීන්ගේ කාලය, ශ්‍රමය, මෙන්ම ඔවුන් වෙනුවෙන් යොදවන මුදල් ද නිෂ්ඵල විය හැකි බව පොලිසිය සඳහන් කරයි.

මෙම සන්දර්භය තුළ, ප්‍රභූ නොවන පුද්ගලයන්ට ලබා දී ඇති ආරක්ෂාව සමාලෝචනය කිරීමටත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහා ආරක්ෂක තක්සේරුවක් කිරීමටත් පොලිසිය සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.