March 14, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දින 2ක විවාදයකට ගැනීමට නියමිතය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව 2024 මාර්තු 19 සහ 20 යන දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව තීරණය කර ඇත.

අද පැවති රැස්වීමේදී ගත් තීරණයට අනුව, විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 2024 මාර්තු 20 වැනි දින සවස 04.30 ට පැවැත්වේ.

පෙබරවාරි මාසයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් විපක්ෂයේ පක්ෂ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ කොන්දේසි කඩකරමින් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් කථානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.