July 20, 2026

බන්ධනාගාරය ඇතුළත සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධි කටයුතු පිළිබඳ බන්ධනාගාර පාලන කටයුතු සඳහා සහය වන රැඳවියන් හෙවත් කාමර පාටි විසින් බන්ධනාගාර නිලධාරීන්ට දිගින්-දිගටම තොරතුරු සැපයීම මීගමුව බන්ධනාගාරයේ සිදු වීමට මූලික හේතුව වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට වාර්තා කර තිබේ.

මේ සිදුවීමට අදාළ මූලික විමර්ශන කටයුතු මීගමුව මූලස්ථාන පොලිසිය මඟින් සිදු කර ඇති අතර, පොලිස්පතිවරයාගේ නියෝග මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 වෙත පවරා ඇත. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන PC/16655/26 අංක දරන නඩුවට අදාළව වානිජ අපරාධ විමර්ශන අංශ 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.වී.ඒ.එස්. කරුණාතිලක විසින් මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. සිදුවීම අවස්ථාව වනවිට මීගමුව බන්ධනාගාරයේ සිරදඬුවම් ලැබූ රැඳවියන් 162ක් සහ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන් 2,255ක් රඳවා සිට ඇත. ඒ අතර පිරිමි රැඳවියන් 2,251ක් සහ කාන්තා රැඳවියන් 166ක් වූ බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය. එසේම මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයකු, ප්‍රධාන ජේලර්වරයකු, ජේලර්වරුන් 13ක් සහ බන්ධනාගාර නියාමක නිලධාරීන් 151ක් සිදුවීම වූ පසුගිය 05 වැනිදා වනවිට සේවය කර තිබේ.

සුරේෂ් ගැටුමට මඟ හැදුවේ මෙහෙමයි

සිදුවීමට පෙර, පසුගිය ජූලි 03 වැනිදා විශේෂ ගණයේ රැඳවියන් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ ඒ 1 වාට්ටුවේ අංක 4423 යටතේ රඳවා සිටි කුරුප්පු ආරච්චිගේ සුරේෂ් පුෂ්පකුමාර නොහොත් කටුවැල්ලේගම සුරේෂ් ව්‍යායාම කිරීමට පිටතට ගෙන ඇත. එය සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නකි. මෙවැනි විශේෂ ගණයේ රැඳවියන්ට දිනකට ව්‍යායාම කිරීම සඳහා පිටතට පැමිණීමට විනාඩි 30ක් ලැබේ. මෙදින අදාළ රැඳවියා ව්‍යායාම කිරීමට වැඩි වේලාවක් ගැනීමත්, සිරමැදිරියට ප්‍රමාද වී පැමිණීමත් සම්බන්ධයෙන් එම වාට්ටුවේ අධීක්ෂණ කටයුතු බාරව සිටි ආධුනික නියාමක මහේෂ් දිල්ෂාන් කරුණාරත්න විසින් අදාළ රැඳවියාට අවවාද කර ඇත. එහිදී කටුවැල්ලේගම සුරේෂ් විසින් අදාළ නිලධාරියාට ව්‍යංගයෙන් මරණ තර්ජනයක් කළ බවට බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පැමිණිල්ලට අනුව මීගමුව බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන් විසින් පසුගිය ජූලි 04 වැනිදා මේ සුරේෂ් නම් සැකකරු එල් වාට්ටුවේ පිටත සිරමැදිරියේ රැඳවීමට කටයුතු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති ආකාරයට මෙසේ සිරමැදිරි මාරුකිරීම සම්බන්ධයෙන් සුරේෂ් දැඩි විරෝධය පළකර ඇත. මේ විරෝධය තව-තවත් වැඩි වීම නිසා 05දා, එනම් මුල් සිදුවීම සිදු වූ දිනයේ උදෑසන පෙර වාට්ටුවේම ඔහු රැඳවීමට කටයුතු කර ඇත.

කාමර පාටි ඉලක්ක කරයි

අධිකරණයට කරුණු වාර්තා වී ඇති ආකාරයට එදින දිවා ආහාරය අවස්ථාවේදී කටුවැල්ලේගම සුරේෂ් ප්‍රමුඛ පිරිසක් විසින් කලහකාරීව හැසිරෙමින් කාමර පාටි රැඳවියන්ට පහරදීමට පටන් ගෙන තිබේ. කාමර පාටි යනුවෙන් හඳුන්වන්නේ බන්ධනාගාර නිලධාරීන්ට පාලන කටයුතුවලට සහය වන රැඳවියන්ය. මෙහිදී තවත් පිරිසක් වාට්ටු කිහිපයක ඉබි යතුරු කඩා ඇති අතර, ඉන්පසු බන්ධනාගාරය පුරා කලහකාරී තත්ත්වයක් මතු ව තිබේ. මෙහිදී කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් කාමර පාටි රැඳවියන් බේරාගැනීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට ද පහරදීමට උත්සාහ දරා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙසේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාර රෝහලට සහ බන්ධනාගාර පාලන පරිශ්‍රයට පහර දී අලාභහානි කර ඇති බවයි. ඉන්පසු බන්ධනාගාර රෝහලේ ඇති ඖෂධහල කඩා එහි තිබූ මානසික රෝගීන් වෙත ලබාදෙන ඖෂධ රැඳවියන් අතර බෙදාදී තිබේ. එම ඖෂධ කොටසක් කාන්තා රැඳවියන්ට ද ලැබීමට සලස්වා ඇතැයි අධිකරණය ඉදිරියේ හෙළිව ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙසේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් සමඟ සාකච්ඡා කර ඇත. මේ සාකච්ඡාවලින් පසු රැඳවියන්ගෙන් කොටසක් නැවත වාට්ටුවලට ‌ෙගාස් තිබෙන අතර, තවත් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත මධ්‍යම රාත්‍රිය වන තෙක් සිට ඇත.

රාත්‍රියේ අවි ගබඩාව මාරුකරයි

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ එදින, එනම් 05 දා රාත්‍රියේදී මීගමුව බන්ධනාගාරයේ අවි ගබඩාවේ දෛනික රාජකාරි සඳහා නිකුත් කරන අවි සහ සියලුම උණ්ඩ අවි ගබඩාවෙන් ඉවත් කර, ජේලර්වරුන්ගේ විවේකාගාරයේ කාමරයක් වෙත ගෙන ගොස් ඇති බවයි. ඉන්පසු එහි තාවකාලික අවි ගබඩාවක් පවත්වාගෙන ගොස් තිබේ. එසේ වුවත් දෛනික රාජකාරි සඳහා යොදා නොගන්නා ස්වයංක්‍රීය ගිනි අවි 10ක් සහ රිපීටර් වර්ගයේ ගිනිඅවි 22ක් අවි ගබඩාවේ කොටසක ඉබි යතුරු දමා තිබී ඇත. විමර්ශනවලදී මේ බව සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.මේ සිදුවීමෙන් රැඳවියන් 02ක් මියයෑම සහ තවත් පිරිසක් තුවාල ලැබීම පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට මීගමුව කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පැමිණ ඇතත්, ඒ වනවිටත් පැවැති කලහකාරී තත්ත්වය හේතුවෙන් එවැන්නක් පැවැත්වීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ සහකාර බන්ධනාගාර අධිකාරි රාජකරුණානායක ප්‍රමුඛ ජේලර්වරුන් දෙදෙනකු සහ නිලධාරීන් 89ක කණ්ඩායමක් ද, මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ කැරලි මර්දන කණ්ඩායමක් ද, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමක් ද මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත කැඳවා ඇත.

සුරේෂ්ගේ රහස් පණිවුඩය

මේ අතර 05 වැනිදා රාත්‍රියේ සිට 06 වැනිදා අලුයම දක්වා කටුවැල්ලේ සුරේෂ් ඇතුළු පිරිසක් වාට්ටු තුළට නොගොස් එළියේ රැඳීසිට තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙන ආකාරයට සුරේෂ් විසින් සිය සමීපතමයන් දෙදෙනකුට රහස් පණිවුඩයක් ලබාදී සුළු වේලාවකින් පිරිසක් 07 වාට්ටුවේ ස්ලැබ් එක මතට නැඟී “තොපි වෙනුවෙන් තමයි ඔක්කොම කරන්නෙ” යනුවෙන් කෑගසා තිබේ.

සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ රැඳවියන්ට උදෑසන ආහාරය පෙරවරු 6ත් පෙරවරු 6.45ත් අතර කාලයේදී ලබාදෙයි. එහෙත් පෙරදා ඇති වූ කලහකාරී තත්ත්වයත් සමඟ 06දා උදෑසන ආහාරය ලබා දී ඇත්තේ උදෑසන 9.30ට පමණ ය. මෙසේ ආහාර බෙදමින් සිටින අතරතුර, අංක 5 වාට්ටුවේ රැඳවියන් දෙදෙනකු ගැටුමක් ඇති කරගෙන තිබේ. එහිදී රැඳවියන් කිහිපදෙනකු ආහාර බෙදමින් සිටි බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ “සර්ලා ඔතැන ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට යන්න” යනුවෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති මේ කරුණුවලට අනුව, මෙසේ පවසා ඉතා සුළු වේලාවකින් සියලුම වාට්ටුවලින් පිටතට පැමිණි රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් තෝරාගත් රැඳවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන ඇත. මේ ප්‍රහාරයෙන් ගැලවීමට බන්ධනාගාරයේ දැල් දොර දෙසට දිව ගියත්, රැඳවියන් පිරිසක් විසින් දැල් දොර අසලදී බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබේ.

පාලනය කිරීමේ පියවර

තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරයට ඇතුළු වූ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරීන් පිරිසක් රැඳවියන්ට මැදිවී ඇත. ඔවුන් රැඳවියන්ගෙන් බේරීමට සැඟවී ඇතත්, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් එම නිලධාරීන් පසුපස හඹාගොස් අමානුෂික ලෙස පහර දී තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ කරුණු අතර වේ.

බන්ධනාගාරයේ ඇතුළත පාලනය සම්පූර්ණයෙන්ම රැඳවියන් අතට පත්වීමෙන් පසු තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කඳුළු ගෑස් උණ්ඩ 06ක් යොදාගෙන ඇති අතර, ඉන්පසු බන්ධනාගාර අධිකාරිවරයාගේ නියෝග මත බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇත. එමඟින් ද තත්ත්වය පාලනය නොවූ නිසා ප්‍රධාන දොරටුව අසල සිටි බන්ධනාගාර නිලධාරියකු බන්ධනාගාරයේ ඉදිරි දොරේ කුඩා කවුළුව තුළින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ. ‍පසුව තත්ත්වය පාලනය කෙරුණු අතර, මේ පිළිබඳ විමර්ශන තොරතුරු ඇතුළත් තවත් පුළුල් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)