May 8, 2026
2024 – 2025 මූල්ය වර්ෂයේ සහ 2026 මුල්ය වර්ෂයේ පළමු කාර්තුවේදී සිදුවූ බවට NDB බැංකුව පිළිගත් රුපියල් මිලියන 13,200ක මූල්ය වංචාව පිළිබඳ කරුණු කිහිපයක් විමසමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්යවරයා වෙත ප්රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.
ශ්රී ලංකා මහ බැංකුව පනත යටතේ පැවරී ඇති ව්යවස්ථාපිත වගකීම් පිලිබඳ බරපතල ගැටලු මතු කර ඇති බවත්, විශේෂයෙන් අධීක්ෂණය, මූල්ය පද්ධතියේ ස්ථාවරත්වය හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ රාමුව යටතේ මූල්ය බුද්ධි ඒකකයේ කාර්යයභාරය පිළිබඳ ප්රශ්න කළ යුතුව ඇති බවත් ඔහු පැවසුවේය.
ඒ අනුව මහ බැංකු අධීක්ෂණයේ අසාර්ථකත්වය, ව්යවස්ථාපිතව වගකීම පැවතුන ද වසර 03කට වැඩි කාලයක් පුරා මෙතරම් විශාල වංචාවක් හඳුනා ගැනීමට හෝ ඒ පිළිබඳ ක්රියාකිරීමට මෙන්ම මේ පිළිබඳ පිළිතුරක් ලබාදීමට මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම සම්බන්ධයෙන් මන්ත්රීවරයා මුදල් අමාත්යවරයාගෙන් විමසා සිටියේය.
”කථානායකතුමනි, ඔබතුමා හරි අපි හරි රුපියල් ලක්ෂයක් ආවනම් ප්රශ්න සීයක් අහන මහ බැංකුව මේ වගේ මිලියන 13,200ක්, ඒ කියන්නේ අඩුගානේ මේකෙ ට්රාන්ස්ඇක්ෂන්ස් 3000කට වැඩිය ගිහිං තියෙනවා. ඇයි මේ සම්බන්ධයෙන් මේ ස්වාධීනත්වය ලබා තිබෙන මහ බැංකුවට මේ ප්රශ්නය ගැන උත්තරක් ලබාදෙන්න බැරිවුණේ” යනුවෙන් මන්ත්රීවරයා එහිදී විමසීය.
මෙම වංචා අනාවරණය වීමට මාස 16කට පෙර අවම වශයෙන් බැංකු 02ක සැකසහිත ගනුදෙනු පිළිබඳ මූල්ය බුද්ධි ඒකකය වෙත වාර්තා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම වාර්තා පිළිගැනීමට හෝ එම වාර්තාවලට අනුව ක්රියාකිරීමට අපොහොසත් වූයේ ඇයිද යන්න සම්බන්ධයෙන් ද මන්ත්රීවරයා ප්රශ්න කළේය.
එමෙන්ම ඔහු විමසා සිටියේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ රාමුව යටතේ මහ බැංකුව මෙම අසාර්ථකත්වය සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.