April 3, 2026

කැබ් රථයක කොටස් නීතිවිරෝධි ලෙස එකලස් කර රථයේ චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ඥාති පුත්‍රයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්නගත කැබ් රථයේ හිමිකරු බවට හඳුනාගෙන ඇත්තේ ඔහු බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකාර පුද්ගලයා එම බර සහතික ලබාගෙන එම ලේඛන මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ‘ඊ’ කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සඳහා චැසි සංශෝධනයට ඉදිරිපත් කිරීම හා ඊට අමතරව ලොරි රථයේ කොටස් නීතිවිරෝධි ලෙස එකලස් කර ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම මාරලන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූල්‍ය විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.