March 12, 2024

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජය සතු පූර්ණ ස්වයං මුල්‍ය ආයතනයක් වන ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල මගින් අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර ඇත.

වෛද්‍ය විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය සහ ශල්‍යවේදී උපාධිය (MBBS) ප්‍රදානය කිරීමටත්, අදාළ උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දෙස් විදෙස් සිසුන් 500ක් බඳවා ගැනීමටත් යෝජිතය.

මෙම වෛද්‍ය පීඨයේ උපාධිය වෙනුවෙන් සායනික පුහුණුව සඳහා සුදුසු රජයේ රෝහලක් ලෙස හෝමාගම මූලික රෝහල වෙන් කිරීමට ආයතනය අනුමැතිය ඉල්ලා තිබිණි.

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසලේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල යොදා ගැනීමට මේ වන විටත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා සම්පත් බෙදාගැනීමට රෝහල වෙන්කරවා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතීන් අනුගමනය කරමින් හෝමාගම මූලික රෝහලේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල එකඟ වී ඇත.